Powered By Blogger

Sunday, July 7, 2019

අපේක්ශා

අපේක්ශා (කෙටි කතාව 18+)

ඒක මහ අමුතු දවසක්, මම කැම්පස් එකේ ඉගෙන ගන්න කාලෙ. තුන්වෙනි අවුරුද්ද. විජේරම හන්දියෙ බාර් එකකින් ගත්ත වයිට් ඩයමන් බෝතලේකින් අපි බෝඩිමේ කොල්ලො තුන් දෙනෙක් සප්පායම් උනා. මම ඉගෙන ගත්තෙ දර්ශනයයි කලා විශයනුයි. යාලුවො දෙන්නනම් භෞතික විද්‍යාව. උනුයි මගෙයි පෑහීම අමුතුම එකක් උනා. අපි ලෝකෙ දැක්කෙ දෙවිදියකට. හැබැයි මත ගැටුම් නම් තිබුනෙ නෑ. බෝතලේ ඉවර වෙලා එකෙක් කිව්වා යමන් ස්පා එකකට කියල. මහරගමට ගියාම ස්පා ඕනෙ තරම් තිබ්බ. එකෙක්ට නම් කෑල්ලක් හිටිය. හැබැයි මම තනිකඩ. අනිකා හෙව්වෙ ලොකු පස්සක් තියෙන කෙල්ලො. මම ගැන මට කියාගන්න තේරුමක් නෑ. හැබැයි මම කෙල්ලොන්ගෙ හොයන්න උත්සහ කලේ හැන්ගිච්ච කවියක්. නැත්තම් විසදන්න අමාරු ප්‍රෙහේලිකාවක් වගේ කෙල්ලෙක්. මේ ෆැන්ටසි වල හිර උන මම තනිකඩවම හිටිය. නැත්තම් ෆැන්ටසි හොයන්න ගිහින් බූට් එකක් දෙකක් තදින්ම කෑවා.

ඉතින් අපි වීල් එකක් අරන් මහරගමට ගියේ බස් වල අරක්කු බීල ගිහින් බයිට් වෙන්න බැරි නිසා. ඒ මගෙ ස්පා ගිය පලවෙනි දවස නෙමෙයි. හැබැයි හැගීමක් දැනෙන් නැති මස් කුට්ටියකගෙන් ලැබෙන ස්පර්ශය මට ඒ තරම් ආතල් එකක් දුන්නෙ නෑ. තිබහට කොකා කෝලා බොනව වගේ ඒක, කොච්චර බිව්වත් මගෙ පිපාසය ඉවර උනේ නැහැ. ඉතින් ඒ බොරු වැඩේ මම එච්චර ෆලෝ කලේ නැහැ. හැබැයි එදා තිබුන වෙරි මතයි, විභාග ආතතියයි නිසා මාත් ඔන්න ඔහෙ යනව කියල හිතන් වැඩේට බැස්ස. වෙලාව රෑ අටට විතර ඇති. නයිට් ටයිම් ස්පා එකක්. අපි දොර ඇරල ඇතුලට යද්දි එතන හිටපු රෙසිප්ශන් ඩයල් එක කිව්ව අද නම් කෙල්ලො හතර දෙනයි ඉන්නෙ බලල ගන්න කියල. අරුන් දෙන්නනම් පුරුදු කාරයො වගේ එබිල බැලුව. මට මොනව කලත් ලැජජාව හැමදාම හෙවනැල්ල වගේ හිටිය. අර ලොකු පස්සවල් හොයන එකා ඌටම හරියන අපේ බාසාවෙන් කියනවනම් ඇන්ට පාරක් අරගත්ත. මම ඒත් කල්පනා කලා, මේ ගෑනිට හිත යන්න තරම් ඌට තියෙන මාන්ශ ආශාව කොච්චරද කියල. කෑල්ල ඉන්න එකත් අරගත්ත එකක්. ඒකිත් බෝක්කුව පේන්න ස්කිනියක් ඇදල තොල් රතු කරන් හිටියා. මට හිතුන මේ ගෑනු දෙන්න අද මුන් දෙන්නව ගිලීද කියලත්.

එතනම එහා පැත්තෙ කෙරවලේ හිටිය කෙට්ටු ඔහේ බලාගත්තු අතේ බලන් ඉන්නව වගේ ඉන්න ටිකක් ගුප්ත වගේ කෙල්ලෙක්. ලිප්ස්ටික් ගාල හිටියෙ නම් නෑ. බෝක්කු පේන්න තරම් ලැමක් තිබුනෙත් නෑ. මල් මල් වගේ බ්ලවුස් එකක් ඒකි ඇදල හිටියෙ. ඔව්, ඒකි අර මම හොයනව වගේ ප්‍රෙහේලිකාවක්. හැබැයි සාමාන්යයෙන් කෙනෙක් බලපොරොත්තු වෙන ආතල් එකක් නම් ඒකිගෙන් ලැබෙන්නෙ නෑ කියල මට එවෙලෙම හිතුන. මම ඒකිව ගත්ත. මාවත් අරන් පාටිශන් කල කාමරේ ඇතුලට ගිය ඒකි තුවායක් ගෙනත් දීල කිව්ව සර් වොශ් එකක් දාගෙන එන්න කියල. මම ඒ දුන්න අන වෙරිමතින්ම ගිහින් පිලි පැද්ද. ඒකි ආවා. සර්ට ඕනෙ ෆීල් මසාජ් එකක්ද කියල ඒකි ගත් කටටම ඇහුව. මම කිව්ව දෙන එකක් දෙන්න මගෙ වෙරි හිදෙන්න කියල.

ඒ කාමරේ දාල තිබ්බෙ රතු පාට ලයිට් එකක්. මට ඒකිගෙ මූන හරියට පේන්නෙ නැහැ. හැබැයි මට තේරුනා ඒකි ගුප්තයි කියල. ඒක ඒකිගෙ මායමක් කියල මට හිතුනෙ නැහැ. මොකද මම කෙල්ලොන්ගෙ මායම් ඕන තරම් දැකල තිබුනා. ඒකි නිශ්ශබ්දයි. මම ඒ නිශ්ශබ්දතාවය බිදල ඇහුව ඔයාගෙ නම මොකද්ද කියල. සර් මම අමා. මට හ්ම්ම් කියනවට ඇරෙන්න වෙන කියන්න දෙයක් තිබ්බෙ නැහැ. මම දන්නව මේ නම් බොරු නම් කියල. ඔයා කොහෙද නන්ගි? මම ආයෙත් ඇහුව. සර් මම බන්ඩාරවෙල. මට පුදුම හිතුන, ඒ වගේ සෞම්ය පැත්තක් අත ඇරල මෙයා මේ ගෙන්දගම් පොලවෙ මිනුස්සුන්ගෙ ඇගවල් මසාජ් කරන්න තරම් මොනර කොලවලට තියෙන ආසාව මොකද්ද.

ඔන්න මට දැන් ප්‍රෙහේලිකාව විසදන්න හිතුන. ඒකිගෙ තිබුන හැන්ගිච්ච කවිය කියවන්න හිතුනා. ඇත්තටම මට ඒකිව දැනෙන්න ගත්ත. මසාජ් එක පැත්තකින් තියල මම ඒකිගෙ සුදු මූනු පොඩ්ඩ මගෙ උරහිසෙන් හේත්තු කරගත්ත. ඒ කෙහෙරැලි හරිම සෞම්යයි. ඒ මූන හරියට වලාකුලු වලින් වැහිල හිමිහිට පීදෙන්න තතනන හද පලුවක් වගේ. ඒ ඇස් දිගටි. මට තිබ්බ ලැජ්ජාවම එයාටත් තිබ්බ. එයා බිම බලන් හොරෙන් වගේ මගෙ ඇස් දිහා බලන්න උත්සහ කලා. මාත් එයාගෙ මූන හරහ වැටෙන කෙහෙරැලි ඇගිලි වලින් එහෙ මෙහෙ කරල ඒ ඇස් දිහාම බලන්න උත්සහ කලා. සර් ඔයා බීල නිසයි මේ රොමැන්ටික් වෙන්න හදන්නෙ. වෙලාවත් යනව සර්. ඉක්මනට ඉවර කරමු. එයා කිව්ව. ඒ වෙලාවෙ මමවත් දන්නෙ නැති මගෙ ස්වරූපයක් එලියට ආවා. මැනිකෙ උබ ඇයි මෙතනට ආවෙ. මම සන්වේදී වෙලා ඇහුව. ඇයි සර් මැනිකෙ කිව්වෙ. එයා පුදුමෙන් වගේ මම දිහා බලන් ඇහුව. ඉතින් මැනිකෙ මේ කොලබ මොනර කොල හෙව්වට උබත් මැනිකෙ කෙනෙක්නෙ කියල මට කිය උනා. ඒකිගෙ ඇස් කදුලින් පිරිල කියල මට රතු පාට ලයිට් එලියෙන් හොදට පෙනුනා. ඒ කදුලු වැඩි වෙලාවක් හිර කරන් ඉන්න එයාට පුලුවන් කමක් තිබුනෙ නෑ. මගෙ උරහිසේම ඔලුව තියන් අඩන්න ගත්තා. සර්.... මට සර් කියන්න එපා, මම රවීන්, මට එහෙම කතා කරන්න. බෑ සර් තවත් මාව අසරන කරන්න එපා. මට ඇත්තටම පුදුමයි. මේ ප්‍රෙහේලිකාව මට උත්තර වලට පාර පෙන්නන්න අරන්. සර් මගෙ පලවෙනි කොල්ල මට ආදරේට කිව්වෙ මැනිකෙ. අන්සබාගෙ හැදුන තාත්ත මට කතා කලේ මැනිකෙ කියල. අම්මව නම් මට ඒ තරම් මතක නෑ. අයිය එහෙම කතා කලාට මෙතනට එන හැමෝම මට කිව්වෙ බබා, පැටියො, ඩාලින් ස්වීටි, සෙක්සි වගේ වචන. ඇයි අයිය එහෙම කතා කලේ මට.... ඒකි අඩන එක නවත්තන්නෙ නෑ. ඇත්තටම මටත් කදුලක් මගෙ ඇස් වලින් වැටෙන එක නවත්තගන්න තරම් හයියක් තිබුනෙ නැහැ. මම ඒකිව හයියෙන් බදාගත්ත. අයියෙ මගෙ ඇත්ත නම අපේක්ශා ඔයා මට අමා කියන්න ඕනෙ නෑ. මට සතුටක් දැනුන. මම ඒ හැන්ගුන කවියෙ පද පේලි අර චයින්නීස් රතු ලයිට් එලියෙන් ටික ටික කියවන්න අරන් කියල මට හිතුනා.

එදා ඒ විදියට ඒ පැය ගෙවුනා. අපේක්ශව වත්තන් කරන් මම ඒ පැයම හිටිය. මම කිව්ව මම කවි ලියන්න ආසයි කියල. අපේක්ශාට ඕනෙ උනා මගෙ කවියක් බලන්න. මම මගෙ ෆෝන් එකේ තිබ්බ මම ලිව්ව කවියක් එයාට පෙන්නුවා. අයිය මම පොත් කියවන්න ආසයි. අයියට ආයෙත් එන්න කියල මම කියන්නෙ නෑ. ඒත් ආයෙත් එනවනම් මට පොතක් අරන් එන්න. යන්න ලන් වෙද්දි එයා කිව්වා. හරි නන්ගි. මට ඔයාව ආයෙත් නොදැක ඉන්න පුලුවන් වෙයි කියල මම හිතන්නෙ නැහැ. මම ආයෙත් එනව ඔයා මේ දාහ තියාගන්න කියල මම මොනර කොලයක් දික් කලේ කිසිම ආතල් එකක් නොගෙනමයි. එපා අයිය. ඔයා මට පොතක් ගේන්න. ටිප් එපා. කැමතිනම් ආයෙත් මැනිකෙ කියල කතා කරන්න යන්න කලින්. "හරි මගෙ මැනිකෙ ඔයා පරිස්සමෙන් ඉන්න, මේ එන නරින්ගෙන්".

පැය දන්නෙම නැතුව ඉවර වෙලා. යාලුවො දෙන්න මම එනකම් එල්යෙ සෝෆා එකේ ඉදන් බලන් ඉන්නව. යකෝ උබ අරක්කු බීලා ලේට් ටැබ්ලට් එකකුත් ගැහුවද. උන් හිතන දේ මට පැහැදිලි. යමන් යමන් අපි කොහොමත් ලේට් තමයි කියල මම ඇහැක් ගැහුව. හැබැයි මගෙ හිත ඇතුලෙ අපේක්ශාවක් මෝදු වෙමින් තිබ්බ. ආයෙත් අපේක්ශාව දකින්නෙ කවද්ද.

පහුවදා වෙද්දි වෙරි බැහැල. කැම්පසුත් ස්ටඩී ලීව් දීල. මට එක පාර මතක් උනේ අපේක්ශාව. ඊයෙ මම බීල හින්ද ඕනෙවට වඩා සන්වේදී උනා. අපේක්ශාත් පොඩි මායමක් දාන්න ඇති. ඒත්... ඒකිට ඒකෙන් වාසියක් උනේ නැහැ. ටිප් ගත්තෙත් නෑ. අර විදියට මාව බදන් අඩපු විදිය. මම කල්පනා කලා. මම තනිකමෙන් ගොඩක් බැට කෑවා. කැම්පස් එකේ දර්ශනය කරන කොල්ලෙක්ට කෙල්ලෙක් සෙට් කරගන්න ලේසි උනේ නැහැ. උන් ඔක්කොම හෙව්වෙ ඉන්ජිනේරුවො, දොස්තරල. දර්ශනය කරන එකෙක්ට ඉතින් මොන රස්සාද. රැව්ල කොන්ඩෙ වවන් ගස් ගල් දිහා බලන් කවි ලියන උන් තමයි අපි කියල උන් හිතුවෙ. සාම්ප්‍රදායිල මද්යම පාන්තික කෙල්ලෙක්ගෙ සිහින කුමාරයෙක්ගෙ පැකේජ් එකක් මගෙ ලග තිබ්බෙ නෑ. අර සුදු පාට ප්‍රියස් කාර් එකක්, අයි ෆෝන් එකක් ලොකූ ගෙයක්. ඒ පැකේජ් එක මට තිබුනේ නැහැ. ඩිග්‍රියෙන් පස්සෙත් පේන තෙක් මානෙකවත් ඒ දේවල් ලැබෙයි කියල මට හීනයක් තිබ්බෙත් නැහැ. ඉතින් මම ඒ වගේ බොරදියේ මාලු බාන්න ගියෙත් නෑ.

ඒ වෙලාවෙ මට තිබුන එකම හිතට දැනුන ස්ත්‍රී සුවය අපේක්ශා කියල හිතුනා. එයා තිබහට කොකාකෝල බොනව වගේ නෙමෙයි. කාන්තාරෙක අතරමන් උන මුවෙක්ට හම්බුන දිය කඩිත්තක් වගේ මට දැනුනා. ඒත් ඒක මිරිගුවක්ද කියල කියන්න තරම් මම දක්ශයෙක් උනේ නැහැ. කොහොම හරි ආදරේ කරන එකයි බුද්දිමත් වෙන එකයි දෙකම එක පාර කරන එක ලෙසි දෙයක් නෙමෙයි කියල මම තේරුම් අරන් හිටියා.

මම එදා නුගේගොඩ සරසවියට ආවා. ඒ මට සන්දෘෂ්ඨික වාදය ගැන පොතක් හොයාගන්න. හැබැයි ආව ගමන් මතක් උනේ අපේක්ශාගේ ඉල්ලීම. අපේක්ශට ගන්න ඕනෙ පොත මොකක්ද කියල මම දහ අතේ කල්පනා කලා. අන්තිමට නැවතුනේ පව්ලෝ කොයියෝගේ මිනිත්තු එකොලහ ලග. ඒක එයා වගේ, සමහරවිට ඊටත් එහා ගිය කෙල්ලෙක් ගැන කියවෙන පොතක්. මට ඕනෙ පොත නම් හම්බුනේ නැහැ. මට ඒ පොත එයාට දෙනකම් ඉවසිල්ලක් තිබුනෙ නැහැ. කමක් නැහැ මම අද ආයෙත් යනව. තාත්ත එව්ව සල්ලි තව ඇති. දාහයිනෙ ඕනෙ.

මම එදා හවස යාලුවොන්ට නොකියම අපේක්ශව බලන්න ආව. සාමන්ය විදියෙ කස්ටමර් කෙනෙක් විදියටම එයාව ගත්ත. එයත් වෙනසක් පෙන්නන්නෙ නැතුව සාමාන්ය විදියටම මාව පිලි අරන් පාටිශන් රූම් එකට එක්ක ගියා. ඒ දොරෙන් ඇතුලු උනා විතරයි මෙයා එක පාරටම පුදුම හයියෙන් මාව වැලද ගත්තා. ඊටවඩා දැනෙන්න කියනවනම් අවුරුදු ගානකින් දැක්ක කෙනෙක් වගේ මාව ඒකි බදා ගත්තා.

මැනිකෙ, මොකද මේ?

අයිය ඔයා ආයෙත් ඒවි කියල මම හිතුවෙ නැහැ. ඊයෙ බීල නිසානෙ එහෙම ලන් උනේ කියල හිතුනා. අය්ය ලගට එන්න කලින් මට මේ නගරෙ කිසිම තනිකමක් දැනුනෙ නැහැ. ඒත් අයිය ගිය වෙලේ ඉදන් මට කවදාවත් නැති තනිකමක් දැනෙන්න ගත්තා.

මැනිකෙ මම ඔයාට පොතක් ගෙනාවා මෙන්න. මගෙ බෑග් එකෙන් එලියට අරන් ඒ පොත දුන්නම අපේක්ශාගේ ඇස් දිලිහෙන්න ගත්තා. අයිය මට ඔයාට ආදරෙයි කියන්න බැහැ. ඒත් අයිය මගෙ ලගින් ඉන්න. මොන විදියට හරි.

ඔන්න ඔහොම අපේක්ශා මගේ ජීවිතේ කොටසක් වෙන එක නවත්තන්න මට බැරි උනා. මගෙ ජීවිතේ දැනුන ලොකුම දුක දැනුනෙ මගෙ අම්ම නැති උන දවස. ඒ මම කැම්පස් එකේ හතර වෙනි අවුරුද්දේ ඉන්න කොට. ඒ දුක කියල මට බෙරිහන් දීලා අඩන්න ඕනෙ උනා. පොඩි එකෙක් වගේ. ඒත් දවස් හත යනකම් මම හිතේ හිරකරන් හිටිය ඒ දුක. අට වෙනි දවසෙ මම ආවෙ අපේක්ශා හොයන්. එදා අපේක්ශා මාත් එක්ක බෙල්ලන්විල පන්සලට ගියා. ඒ වෙලාවෙ මම එයාගෙ උරහිසේ ඔලුව තියන් ඉකි ගගහ ඇඩුවා. අන්තිමට මගෙ එකම අපේක්ශාව උනේ අපේක්ශා. හැබැයි එයාගෙ ජොබ් එක එයාට කරන්න සිද්ද උනා. දවසක් මම එයාට එක යෝජනාවක් කලා. අපේක්ශා අපි දෙන්න පොඩි ඇනෙක්ස් එකක් අරන් ඉම්මු... අයිය ඔයාට ජීවිතයක් තියෙනව. ඔයා කුමාරයෙක්, මම ගනිකාවක්, ඔයා එනකම් කුමාරිකාවක් බලන් ඉන්නවා ඇති මේ ලෝකෙ කොහෙ හරි. අය්යගෙ නම කැත වෙන එක විතරයි වෙන්නෙ මේක අහු උනොත්. මම ඒකට විරුද්ද උනා. අපේක්ශා ඔයා ගනිකාවක් නම් ඔයාව හොයන් ආව මමත් ඊට සමානයි. අපි එකට ඉම්මු. අපේක්ශා ආයෙත් අඩන්න ගත්ත.

මගෙ අයියෙ, මට පුතෙක් ඉන්නව. එයා දරුවගෙ තාත්තගෙ අම්මල ගාව ඉන්නෙ. මගෙ අයිය එක්ක මම ඉන්න පින් කරල නැතුව ඇති. අයිය කොහොමද මෙහෙම ගෑනියෙක් එක්ක ඉන්නෙ.

ඇත්තටම අපේක්ශට පුතෙක් ඉනන්ව කියල මම දැනන් හිට්යා. එයාගේ ෆෝන් එකේ ෆොටෝ වලින් මම පුතාව දැකල තිබ්බ. හැබැයි එයාම කියනකම් ඒක අවුස්සන්න මට ඕනෙ කලේ නැහැ. මොකද එහෙම හිටිය කියල ඇත්තටම වෙනසක් වෙන්නෙත් නෑනෙ.

කොහොම හරි අපේක්ශා මාත් එක්ක ලිවින්ග් ටුගෙදර් ඉන්න ආවෙ නැහැ. හැබැයි අපි පුලුවන් හැම වෙලේම මුන ගැහුන. අපේක්ශා මට බදින්න වෙන්නෙ නැහැ. ඒක එයත් දැනන් හිටිය. බදිනව කියන එක ආදරේ අනිවාර්ය අවස්තාවක් කියල මම හිතුවෙත් නැහැ. මම කලේ විශේෂ උපාදියල්. මගෙ වැඩ තොගේ එන්න එන්නම වැඩි උනා. දර්ශනය විශේෂ උපාදියක අන්තිම අවුරුද්ද කියන්නෙ පිස්සෙක් වෙන්න ඔන්න මෙන්න වගේ තිය්න අවස්තාවක්. මගෙ හැම ආතතියක්ම අඩු කලේ අපේක්ශා.

අන්තිම සෙමෙස්තරේ අන්තිම විභාගෙත් ඉවර කරපු මම දවසක් අපේක්ශට කෙටි පනිවිඩයක් යවල කිව්ව හවසට මම එනවා කියල. ඒත් අපේක්ශාගෙන් පිලිතුරක් ආවෙ නැහැ. මම ස්පා එකට ගිහින් අපේක්ශගෙ හොදම මිතුරියගෙන්, රුවනි අක්කගෙන් ඇහුව කෝ අපේක්ශා කියල. රුවනි අක්කා දුන්නෙ හිත සැහැල්ලු වෙන උත්තරයක් නෙමෙයි. එයා පොඩි ලියුම් කෑල්ලක් මගෙ අතට දීල කිව්ව, මල්ලි ඔයා ආවොත් මේක දෙන්න කියල එයා කිව්ව.

"මගෙ අයියා, ඔයාගෙ ජීවිතේ මේක නෙමෙයි මගෙ අයියෙ, ඔයා ඔයාගෙ ජීව්තේට යන්න. මගෙ අය්යට මම ගොඩක් ආදරෙයි. මම බන්ඩාරවෙලට යනව අය්යේ. ඔයා මාව හොයන් එන්න එපා. මම ආයෙත් එන්න ආසාවක් නැහැ කොලබ....මගෙ අයියා කුමාරිකාවක් බදින්න, අය්ය හැමදාම ආස කලා වගේ දූ පැටික්කියෙක් හදන්න.... හීනෙන් ඇවිත් එකම එක පාරක් මට මැනිකෙ කියල කතා කරන්න. බුදුසරනයි මගෙ අයියෙ"

මට එන කදුලු පාලනය කරන එක ඒ වෙලාවෙ කරන්න පුලුවන්කමක් තිබ්බෙ නැහැ. මම බෝඩ්මට යනගමන් ගල් බාගයක් අරන් ගියා. යාලුවො ඒ වෙද්දි හිටියෙත් නැහැ. තනියම බීලා කන්නෙත් නැතිව නිදා ගත්ත.

මාස හයක් වගේ ගියා. මම උත්සහ කලා පශ්චාත් උපාදියට ශිෂ්යත්වයක් ගන්න. මොකද දර්ශනයට ලන්කාවෙ ඒතරම් තැනක් නැහැ. ඒත් පිටරට, විශේශයෙන් යුරෝපියානු රටවල දර්ශනය කල අය විවිද පර්යේශන වල නියැලුනා. විශේෂයෙන් මනෝ විභාගය සහ දිවිත්වය ගැන මගෙ ආශාවක් ඇති උනා. අවසානයේ මම නෙදර්ලන්තයේ ඈම්ස්තර්ඩෑම් විශ්වවිද්යාලයේ ශිෂ්යත්වයක් ලබා ගන්න සමත් උනා. ඒ ශිෂ්යත්වය ලැබුන දවස මගේ ජීවිතේ සතුටුම දවස. මම කොච්චර තනි උන කෙනෙක්ද කියනවනම් මගෙ ජීවිතේ සතුටුම ආරන්චිය කියන්නවත් මට කෙනෙක් හිටියෙ නෑ. මම පොඩි ලියුම් කෑල්ලක මේ විස්තරේ කියල රුවනි අක්කට දුන්න අපේක්ශට දෙන්න කියල හම්බුන දවසක.

ඈමතර්ඩෑම් නුවර ජීවිතය හරිම සෞම්ය එකක් උනා. කාලය ගත වෙලා ගියා, මම දන්නෙම නැතුව ඒ රටට මාව හුරු වෙලා ගියා. විශ්වවිද්යාලයේම පොඩි රස්සාවක් කරමින් ඉගෙන ගත්ත මට ඇනාව මුන ගැහුනෙ විශ්ව විද්යාල පුස්තකාලයේ ගත කරපු දවසකදි. ඇනා මගෙ හිතවතිය උනා. ඇනා ඉගෙන ගත්තෙ ගෘහ නිර්මාණ ශිල්පය. මම ගොඩක් ආසා කරපු තවත් විශයක් ඒක. ඉතින් අපි දෙන්නට කතා කරන්න ඕන තරම් දේවල් තිබුනා.ඒ විතරක් නෙමෙයි ඇවිදින්නත් ගොඩක් තැන්. අපි නිවාඩු වලට ඈම්ස්තර්ඩෑම් වල කලාගාර වල කව්තුකාගාර වල ඇවිද ඇවිද ඉතිහාසය ගැන කතා කලා. දිග නිවාඩුවක් හම්බුනොත් නෙදර්ලන්තෙ පිටිසර ගම්මාන වල ඇවිදින්න ගියා. රොතර්ඩෑම් වලට ගියා. සූරියකාන්ත මල් වතු වල ඇවිද්ද, නගරෙ වටේ ඉදිකරල තිබුන ඇල මාර්ග වල පොඩි බෝට්ටු වල නැගල එහේ මෙහේ ගියා. දන්න්ම නැතුව පශ්චාත් උපාදියත් ඉවර උනා. අවුරුදු දෙකක් දන්නෙම නැතුව ගත වෙලා.

මට ලන්කාවට පොඩි නිවාඩුවකට එන්න හිතුනා. මම ඇනාටත් ඒ ගමනට ආරාධනා කලා. ඇත්තමට මට ඕනෙ කලේ ඇනාව දැනට ලන්කාවෙ මට කියල ඉන්න එකම කෙනාට හදුනවල දෙන්න. මගෙ තාත්තට. ඒත් ඇනාට තිබුන වැඩත් එක්ක ඒ ගමනට එකතු වෙන්න පුලුවන්කමක් තිබුනෙ නැහැ. කොහොම හරි කේ එල් එම් ගුවන් යානයක නැගල මම අවුරුදු දෙකකට පස්සෙ ලන්කාවට අඩිය තිබ්බ.

මට තිබුනෙ සති දෙකක කාලයක්. මට ඕනෙ උනා කැම්පස් එක පැත්තෙ යන්න. විජේරාමෙ පැත්තෙ රව්මක් දාල පොඩි නොස්ටල්ජියාවක තනි වෙන්න. හිතට හොරෙන් තව පොඩි අපේක්ශාවක් තිබුනා. ඔව් ඒ අපේක්ශ ගැන හොයල බලන්න. මගෙ මැනිකෙ ගැන හොයල බලන්න.

මම මහරගමට යද්දි ටිකක් හවස් වෙලා. ස්පා එකට ගිහින් ඇහුවෙ රුවනි ඉන්නවද කියල. ඒත් ඒ වෙද්දි රුවනි අයින් වෙලා ගිහින්. ඒත් එතන හිටපු එක්කෙනෙක් මාව අදුර ගත්තා. මේ අර අමා (අපේක්ශගෙ ස්පා නම)ගෙ යාලුව නේද.

ඔව් අක්ක, අමා ගැන ආරන්චියක් නැද්ද.
මල්ලි අමා ආයෙත් මහරගමට ආව. හැබැයි මේ පාර ආවෙ පිලිකා රෝහලෙන් බෙහෙත් ගන්න. එයාගෙ ඇත්ත නමත් අපේක්ශා අන්තිමට නවතින්න උනෙත් අපේක්ශා පිලිකා රෝහලේ. හැබැයි එයාගෙ හිත හරිම හයියයි මල්ලි. අපේක්ශා හැම වෙලේම හිටියෙ හීනෙක. ඒ හීනෙ ඔයා. අපේක්ශා ෆේස් බුක් හිටියෙ නෑ. ඒත් පස්සෙ ප්‍රොෆයිල් එකක් හදන් ඔයාගෙ ෆොටෝ බලන්න ගත්ත. අපේක්ශා ඒවා බලල අඩනව, හිනහවෙනව. හැබයි එයා ලොකු ආසවකින් හිටිය මල්ලිව ආයෙත් බලන්න. මල්ලිට කියල මැනිකෙ කියල අහගන්න.

අක්කෙ මට කියන්න එයා කෝ, එයා කොහෙද ඉන්නෙ? ප්ලීස් මට ඉන්න තැනක් කියන්න.

අපේක්ශා ඉන්නව මල්ලි, මේ ලගම, එයා පොඩි ඇනෙක්ස් එකක් අරන් පුතා එක්ක එහෙ ඉන්නව. පුතා මෙහෙ ඉස්කෝලෙ යනව. දැන් ටිකක් හොදයි එයාට. ඒත් තවම ටිකක් දුර්වලයි. අපේ නන්ගි කෙනෙක් ඉන්නව එයා ලග බෝඩ් වෙලා. තනියක් නෑ ඒ නිසා. ඉන්න මම මල්ලිට ඇඩ්‍රස් එක දෙන්නම්.

මහරගම ටව්න් එකෙන් පොඩ්ඩක් එහාට වෙන්න තියෙන ලේන් එකක් පොඩි ගෙයක්. මලකඩ කාපු ගේට්ටුවක් ඉස්සරහ මම නැවතුනා. බෙල් එක ගහන්න කලින් මට තේරුනා මගෙ පපුව ගැහෙන සද්දෙ. අවුරුදු දෙකහමාරකට කලින් මගෙ ජීවිතේ එකම අපේක්ශාව "මගෙ අපේක්ශා". මම දුක හිතුනම ඉකි ගගහ අඩපු උරහිස, සතුටක් ආවම ඒ ඇස් දිහා බලන් මම ඒ ආරන්චි කියල අපේක්ශගෙ ඇස් දෙක දිලිහෙන හැටි බලන් හිටියා. ඕන දෙයක් වෙද්දෙන් මම සීනුව නාද කලා.

මම ඇස් දෙක හිර කරල පියාගත්ත. මගෙ හදවත ඒ මොහොතට සූදානම් නැහැ. ඒත් මට ආයෙත් ඒ ඇස් දෙක දිහා බලන්න ඕනෙ කලා. ඒ දොර විවර කලා... මගෙ කවිය, මගෙ කවදාවත් විසදන්න බැරි උන ප්‍රෙහේලිකාව, ආයෙත් මගෙ ඉස්සරහ...

"මැනිකෙ, උබ කොහොමද මාව දාල ගියේ මේ තරම් දුර..."

"මගෙ අයිය අද මේ විදියට මාව බලන්න ආවෙ මම එදා ඒ විදියට ගිය නිසා නේද මගෙ අයියෙ... අයිය ලොකු දුරක් ගිහින් ආයෙත් මගෙ ඉස්සරහටම ආවද මගෙ අය්යෙ"

මට කතාකරගන්න ශක්තියක් නැත. මම දනින් වැටී ඇයව වැලද ගත්තෙමි. පැයක්ද දෙකක්ද කියා මතක නැත. මම මගේ මව හැර ගිය දිනයේ ඇය වත්තම් කර හැඩුවා සේ ඇය ඉදිරියේ කුඩා දරුවෙකු සේ හඩන්නට වීමි. ඇය කේඩෑරි වී ගොසිනි. එහෙත් ඇයගේ සිහිනයේ ඇය එල්ලී සිට ඇත. ඒ සිහිනය ඇයගේ ජීවිතය ඇයගෙන් උදුරගන්නවාටත් වඩා ශක්තිමත් දෙයක් වීද....

ඇයගේ සිහිනය... තවත් වරක් මාගේ මුවින් මැනිකේ කියා අසා ගැනීමට....

මෙය මා ලියන්නේ ගුවන් තොටුපලේ සිටයි. තවත් පැය කිහිපයකින් මම සිටිනුයේ වෙනස්ම යථාර්තයකය. කුමාරිකාවක් සමගය. එහෙත් "මැනිකෙ" උබ මගේ සිහින වල සින්නක්කර අයිතිය ලබා හමාරය. යතාර්තය හමුවේ ප්‍රේමය පරාද වී දනගසා ඇත. එහෙත් අප මියෙන තුරු අප ආදාරය පවතිනු ඇත. සමාජය හමුවේ ගනිකාවක් වූ ඇය මහට අපේක්ශාවක්ම විය. අප සිහින හමුවේ කාලය දුර තවදුරටත් සාධක නොවනු ඇත. ඇය මාගේ ආත්මයේ සාර්වකාලීන නොමියෙන පෙම්වතිය වනු ඇත. ඇය මා අසල නොසිටියත්. කිසිදා එක් නොවන සාමාන්තර රේඛා මෙන් අප කාලය ඔස්සේ ගමන් කරනු ඇත.

දුලී

( මනකල්පිතයි)

No comments:

Post a Comment