Powered By Blogger

Tuesday, January 25, 2022

අප තිදෙනා සහ ඔවුන්!

අප තිදෙනා සහ ඔවුන්! 


මෙය ලියන්දෝ නොලියන්දෝයි කියා කිහිපවරක්ම සිතා ලියන්නට සිතුවෙමි. ඊට හේතු කිහිපයක් මට ඉදිරිපත් කල හැක. එකක්නම් මා මේ යමෙකු සමග බෙදාගන්න උත්සහ කරන පාපොච්චාරණය මා සිතටම යම් නිදහස් හැගීමක් ගෙන දීමයි. අනික නම් තවකෙකු මාගේ යථාර්තයට මුහුන දුන් විටෙක මේ වචන වලින් යම් උදව්වක් ඔහු හෝ ඇයට ලැබේ යයි යන උපකල්පනයයි. තෙවන කාරයන නම් මාගේ මවගේ මරනයෙන් පසු යම් යම් පුද්ගලයන්ගෙන් මට එල්ල වූ විවේචනයන්ය. විවේචනයන් මා කිසිදා ගනන් නොගත් බැවින් එය හුදෙක් තෙවන කාරනය පමනි. 

එසේ නම් මා මෙය කියන්නම්, නැතිනම් ලියන්නම්.... මනෝ කල්පිත පුද්ගලයෙකුට කතාන්තරයක් ලෙස ආදේශ නොකර මෙය මා විසින් මන්ම මම යන සම්මුතිය පාවිච්චි කරම ලියන්නම්.

මා හිතවතුන්, ඊනියා හිතවතුන්, මා දන්නා වුන් ඇතුලු බොහෝ දෙනෙකු මා මුහුන දුන් යථාර්තය හොදින් දන්නා බව දනිමි. සහෝදරයෙක් හෝ සහෝදරියකුදු නැති, තනිකඩව වසන මාගේ දෙමව්පියන් වසරක් ඇතුලත මාගෙන් වෙන්වයාම යන සිදුවීම. මේ සිදුවීමත් සමග මාගේ චර්යාත්මක ප්‍රතිචාරයන් කොපමන වෙනස් වනු ඇද්ද, මා සිටි තැනින් කොතරම් ඇද වැටෙනු ඇද්ද.... මේ සමහරෙකු මා දෙස (ඥාතීන් සමහරෙකුද ඇතුලුව) බලා දකින්නට උත්සහ කල දේවල්. මා වේදනාවෙන් බරිතව විෂාදයට පත්ව සියල්ල වෙනස් ව ගෙවල් ඉඩම් විකුනා තපස් රකින්න යාවිද යන්න එකෙකු සිතන්නට ඇත. මා වේදනාවෙන් මුසපත්ව බේබද්දෙකු මෙන් බෝතලයක් බදාගෙන මේ යතාර්තයන් සමග පොරබදීවි යයි තව කෙනෙකු සිතන්නට ඇත. එහෙත් මට වර්තමානයේ යම් යම් විවේචනයන් එල්ල කරන පුද්ගලයන් සියල්ලටම මා යම් සිත් රිදවීමක් කලමි. එනම් ඔවුන් බලා සිටි යතාර්තය මගෙන් පිලිඹිබු නොවීමයි. මා බේබද්දෙකු වූවේ නැත. තපස් රකින්න ගියේද නැත (අවැසි වුවහොත් යම් දිනෙක යමි. එහෙත් ඒ කිසිවෙකුගේ මරනයක් නිසා එන කලකිරීමක් නිසා නොව අවබෝදයෙන් එන කලකිරීමක් උදෙසා පමනි. තවද වනගතව තපස් නොරැක්කා කියා අවබෝදය ලබන්නට බාධාවක් නොමැති බවද මා දනිමි).

කෙසේ හෝ මේ විවේචනයන් අතර ප්‍රබලම විවේචනයක් වූයේ මා දඩබ්බර පුතෙකු වූවා යයි ග්‍රාමීය වශයෙන් ප්‍රසිද්ද වීමය. ඔව් මා දඩබ්බරයෙකු වූවෙමි. එය ගමට කියා පොදු නැත. රැකියාවේද, මහ මගද, රාජ්ය සම්බන්ද වුවද මා නිරන්තර දඩබ්බරයෙකු වෙමි. මාගේ දෙමව්පියන් සැදුවේ වහලෙකු හෝ රූකඩයෙකු නොවන බව ඔවුන්ට මා පවසමි. යම් අසාධාරනයක් මා දෙමවිපියන් තුලින් දුටුවද මා ඔවුන් හාද ගැටුනෙමි. එය මාගේ රැකියා ස්තානයේ කළමනාකරු විසින් සිදුවුවද, රටේ ජනාදිපති අතින් සිදුවුවද, මා අවැසි තැන ගැටෙමි. ඒ ඝට්ඨනයන් පසුපස ඇත්තේ වෛරය නොවන බව දන්නෝ දනිති.

තවත් එක් විවේචනයක් වන්නේ මා ඔවුන්ගේ දරු මුණුබුරන් දැකීමේ සිහිනය උදා නොකෙරුවා යයි යන විවේචනයයි. මෙය මට මෙන්ම ඔවුන්ටද සිනහ යන තාලේ විවේචනයක් බව ඔවුන් සිටියානම් මේ කාලකන්ණි මිනිසුන් දකිනු ඇත. මා සැමදා ජීවත් වූයේ හුදෙක් කසාදයක් කරගැනීමට වයස ආ පමනින් කසාදයක් කරන්, දරුවෙකු සැදීමට වයස ආ පමනින් දරුවෙකු හදන් සමාජයට අවැසි විදියට ඔවුන් සතුටු කිරීම උදෙසා නොවේ. මාගේ සතුට මා උපරිමයෙන් විදිමි. කසාදයක් අවැසිමනම් ඒ සදහා යැවිය යුත්තේ එක් කෙටි පනිවිඩයක් පමනි. ලබන සතියේම එය සිදු කල හැක. මෙය මාගේ තෝරාගැනීමක් මිස අසරණකම නොවන බව ඒ අසරණ මිනිසුන් නොදනී. ඔවුන් කරත්තේ බැන්ද ඩබල් ගොන්නු සේ සිය බර අදින ගමන් සැහැල්ලුවෙන් ඉන්න වුන් ගැන ගොසිප් කතා කරමින් උම්බෑ කියයි. මා සියලු සතුන්ට කරුණාව දක්වන බැවින් ඔවුන් වෙනුවෙන්ද වචනයක් ලියන්න පසුබට නොවෙමි.

තවකෙකු පවසාවි මේ පන්ඩිත කතා කීවාට වයසට ගිය පසු උඹව බලාකියාගන්නේ කවුද කියා. වයසට ගිය දෙමව්පියන් තනි කර බටහිර රටවල ජීවත්වන වෛද්යවරු ඉන්ජිනේරු වරු මා දැක ඇත. ඒ දෙමව්පියන් මට මාගේ පියා මාලිගාවත්තේ වකුගඩු සායනයේ සිටින විට අනන්තව හමුවී ඇත. මාගේ දියනිය පශ්චාත් උපාදිය සදහා එන්ගලනෙතෙ ගියා. පුතා ඕස්ට්‍රේලියාවෙ. ට්‍රාන්ස්ප්ලාන්ට් එකට සල්ලි එවනව, ඩයලයිසිස් කරන්න සල්ලි ඉවනව. ඒ ඇති පුතා. මට මේ දෙබස හොදින් මතකය. ඒ වර්තමානයයි. අනාගතයේ දරුවන් කෙසේ විය හැකිද....තවද මා සතුටු වෙමි. ෆින්ලන්තය, ජර්මනිය වෙනි රටවලින් පැමිනි ශිෂ්යත්ව පසෙක ලා මම දෙමවිපියන්ගේ අවසාන මොහොත වන තෙක් ඔවුන් ලග සිටියෙමි. අම්මගේ අවසාන සුසුම හෙලන තෙක් ඇයගේ සුරත උනුහුමින් අල්ලා සිටියෙමි.

මේ සියලු විවේචන අතර මා ජීවත්වන ප්‍රදේශයේ සමහරෙකි මෙසේ කියයි.

"ඌ උන්ගෙ අම්ම තාත්තා මරාගත්තා. එයාල කොච්චර දුකෙන්ද හිටියෙ මුගෙ දඩබ්බරකම් නිසා. එකලාසයක් නොවුන එක ගැන. අරක්කු බොනව, සිගරට් ගහනව ගේ ඇතුලෙම. මූ මේ මිනස්සු දෙන්නට ඉන්නකම් සිත් වේදනා දෙන්න ඇති"

මෙවැනි කතා පවසන එක් මිනිසෙකු විටෙක මාගේ මවගේ දියවැඩියා තුවාලයකට බෙහෙත් දමන්න ඔහුගේ ටැක්සියට කතා කලවිට, "අම්මෝ පෝලිමේ ඉන්න ඕනෙ මට නම් බෑ" කීවා මතකය. මීට අවුරුදු 12 කට පමන පෙර මා මවගේ හර්දය නැවතී මියගියා යයි සියල්ල පවසද්දී මා ඇයට කෘතිම ශ්වසනය ලබා දී ඇයව බේරාගත් සැටි ඔවුන් නොදනී. එතන සිටි ඉන්ද්‍රානි Indrani Padmini  නැන්දා එයට සාක්ශි දෙනු ඇත. කොටින්ම මාගේ පියාද අම්මා අපිව දාල ගිහින් ඉවරයි කියා මා පෞ පසට ඇද්දා මතකය. 

වකුගඩු ලෙඩේ සෑදුනු මගේ පියාගේ එම රෝගය සොයාගත්තේ මාගේ රෝගලක්ෂණ පිලිබද තිබූ සැකයකින් පසු බව සහ ඔහු වෙනුවෙන් ඉඩකඩම් විකුනා බෙහෙත් හේත් ඩයලයිසිස් කල හැටි ඔව්න් නොදනී, වකුගඩු ආසාදනයකින් තාත්තා මිය යද්දී ඒ වනවිට වකුගඩු බද්දය සදහා අයෙකු සොයාගෙන සිටි බව ඔවුන් නොදනී. (ලක්ශ 10ක්.ගෙවීමට පොරොන්දුව).

ඔවුන් දන්නේ සතියකට වරක් බියර් එකක් බීමත්, දිනකට සිගරට් 3ක් 4ක් බීම ගැනත් පමනි. ඔවුන්ට ඇති විශාලතම ප්‍රශ්නය මා එය නිවස තුලදී කිරිමයි. ඔවුන් සිතන්නේ එය මාගේ දෙම්විපියන්ගේ සිත දැඩිලෙස රිද්දවන දෙයක් බවය. තාත්හා සහ මම එහෙම සෙට් වෙද්දී ශෙයාර් කරන් ශොට් එකක් දාන බව ඔවු නොදනී. අම්මා සිය කැමැත්තෙන් බයිට් එක සාදාදෙන බව ඔව්න් නොදනී. "උඹ වෙන තැන් වල බීල බයික් එකේ ඇවිත් මැරෙන්න ඕනෙ නැහැ යාලුවො එක්ක මෙහෙ ඉදන් බීපන්" කියා පවසන දෙමව්පියන් මට සිටින බව මේ ගෝත්‍රිකයන් නොදනී.  මාගේ වරෙක සිටි විවාහක පෙම්වතිය හා ඇයගේ දරුවා ගැන පවා ඔවුන් දනී. හොදින් දනී. ඇය මා හා අමනාප වූවිට කතා කරන්නේද මා පියා සමගය. ඔහු ඇයට දුවේ යයි ඉතා ආදරයෙන් ආමන්ත්‍රනය කරයි. කිසිදු වෙනසක් කරන්නේ නැත. ඒ ඔවුන්ගේ මට්ටමයි. මාගේ මවගේ මලගෙය දවසේ පැමිනි අම්මගේ ගජ මිතුරියක වන කල්යානි ආන්ටි මෙසේ පැවසුවා මතකය. "පුතා අම්මයි මමයි ගම්පහ උසාවියෙ වැඩ කරන දවස් වල එක මිනිහෙක්ට දඩයක් ගෙවා ගන්න බැරුව ඇතුලට දාල තිබ්බ. ඔයාගෙ අම්ම එයාව දැක්ක. ඌ කසිප්පු ප්‍රශ්නෙකට නඩු වැටුන කෙනෙක්. අම්ම ඒ දඩ මුදල ගෙවල එයාව එලියට ගත්ත. එලියට දාල මට කිව්ව "කල්යානි මනුස්සයෙක් හැමදාම වරදකාරයෙක් නෙමෙඉ. එයා ඒ අදාල දඩුවම වින්දට පස්සෙ එයා තව දුරටත් වරදකාරයෙක් නෙමෙයි" ඒ මාගේ අම්මාය. මට පුදුමාකාර ආඩම්බරයක් දැනුනි. එය කිසිදා අම්මා මට නොපැවසූ දෙයකි. 

මී ලග ප්‍රබලම විවේචනය වන්නේ මවගේ මරනයෙන් පසු ඔවුන් බලාපොරොත්තු වූ කඩාවැටීම් වෙනස්කම් මාගෙන් දිස් නොවීමයි. 

මෙයට දිය හැකි පිලිතුර නම්, මා ඔවුන් මෙන් මෙවැනි අවස්ථාවකදී කඩා වැටෙනවානම් මා මෙච්චර කලක් ඇසූ ධර්මයෙන්ද බෞන් වැඩූ කාලයෙන්ද වැඩක් නැත. ලක්ශ 5ක් 6ක් ගෙවා ඉගෙනගත්ත මනෝ විද්යා උපාදිවලින් වැඩක් නැත. එසේ කඩා වැටෙනවානම් ඒ ධර්මය ඇසූ කාලයේ ඔවුන් මෙන් ජොලි සීයාගේ සින්දු ඇසුවානම් මීට හොදය. මා ආරාණ්ය වල බවුන් වැඩූ කාලයේ මා බීච් පාටි බැස්සානම් හොදය. අම්මා හෝ තාත්තා සැමදා එක ලෙස සිටී නම් මා කිසිදා ධර්මය ශ්‍රවනය කරන්නේ නැත. රේරුඛානේ හාමුදුරුවන්ගේ දන්කන්දේ ධම්මරතන හාමුදුරුවන්ගේ පොත පත කියවන්නේ නැත. එසේ නම් මා සැමදා ආතල් එකේ සිටිමි. එහෙත් මා මේ දුක කවදා හෝ විදින්න සිදුවෙනවාමයි යන හැගීම මත මාගේ මනස බොහෝ කල් සිට එයට මුහුන දීමට හැඩගස්වාගත්තෙමි. එය දන්නෝ දනිති. මා සතුටින් සිටිමි. ඒ මා වර්තමානයේ උපරිමය ජීවත් වන බැවින් මිසක් මත්ද්‍රවයක් නිසා නම් නොවේ. කොටින්ම අම්මා මිය ගිය පසු බියර් එකක් හෝ බිව්වේ දවස් 3ක් 4ක් පමනි. ඒද මාත් සග නයිට් ගසන්න එන මිතුරන් හා අමුවෙන් සිටීම බෝරින්ග් බැවිනි. ධර්මය සාකච්චා කරන වුන් මෙන්ම අධර්මය උපරිමය ඇත්තන්ද මා ආශ්‍රය කරමි. එය මට බදාවක් නොවේ. 

තවකෙකු අසයි මචන් උඹ දුක හිරකරන් ද ඉන්නෙ? පුලුවන්නම් කවුන්සලින් පලයන් මොකද හිර කරන දුක වෙන විදියට එලියට එන්න පුලුවන්. 

එය පවසන්නේ මාගේ කලණ මිතුරෙකි. ඔහු ෆ්‍රොයිඩ් ගේ තියරි එක්ක මේ උපදෙස් මට දෙයි. මා දුක සිරකරන්නේ නැත. උදේ 8 ට මට කෝපි කෝප්පය සාදා දී හොදින් කතා කල අම්මා 8.30 වද්දී මාගේ අත අල්ලන් පන අදී. මා කෑ ගසා හැඩුවෙමි. දනගසා වැද අම්මේ හැමදේටම ස්තූතියි කීවෙමි. 9 වද්දී ඇය රාගම රෝහලේ මෝචරියේය. තව මොහොතකින් ඇය මල්ශාලවේ කොනක වැතිර සිටී. ඇයගේ සිරුර විච්චේදනය කරනුද මා දුටුවෙමි. දුක්වන සිත දෙස මා බලා සිටියෙමි. අම්මාගේ නාම රූප ධර්මයන්හි අනිත්ය, අනාත්ම දුක්ක ස්වබාවයන්ම මෙනෙහි කෙරුවෙමි. විටින් විට ඇය මැවි මැවී පෙනෙද්දී ඒ එන සිතුවිලි දුක සියල්ල මා බයිපාස් කර යෝනිසෝ මනසිකාරයටම හැරවූවෙමි. යම් සොදුරු අවබෝදයක් ඒද ඒ අවබෝදයේ කුසලයම මා ඔවුනට අනුමෝදන් කෙරුවෙමි. නීට්ශේ කාල් මාක්ස්, ප්ලේටෝ වෙනි බොහෝ දාර්ශනිකයන්ගේ මත වලට වඩා ඉන්දියාවේ බුද්දාගේ ප්‍රැග්මටික ඇප්‍රෝච් එකෙහි ඇති සාර්ථක බාවය මා අත් වින්දෙමි. හේතුපලදහම දහම්පාසලේදීවත් පාඩම් නොකල මා එය මව සහ පියා තුලින් අත් දැක්කෙමි. ආදහානාගරයේ ඇයව චිතකයට ඇතුල් කිරීමට පෙර සතිපට්ඨාඅ සූත්‍රය වාදනය කරයි. කිසිවෙකු හෝ එයට උවමනාවෙන් ඇහුම්කම් දෙනවාද කියා මා දන්නේ නැත. ඒත් මා ඒ මොහොතේ කිසිදු කදුලක් නොහෙලා අම්මාගේ අත් දෙක මත මා අත තබාගෙන සතිපට්ටාන සූත්‍රය අම්මා තුලින් විනිවිද යැව්වෙමි. (සැබැවින්ම එතන අම්මා කෙනෙකු සිටියේ නැත. පිදුරු පිරවූ යම් රසානය ද්‍රව්ය ගැල්වූ මස් ගොඩක් පමනි). පියාගේ මරනයේදී හැඩූ කදුලින් චිතකයට ඔහුගේ දෙන තල්ලු කලද, කිසිදු කදුලක් නොහෙලා මවගේ දෙන මා එයට ඇතුලු කෙරුවෙමි. 

මහට දුකක් නැත. එහෙත් සතුටු වන්න කාරනා ඇත. ඒවානම්, 

මාගේ මව සහ පියා දුක් විද මරනය වැලදගත්තේ නැත. 
දෙදෙනාම අවසන් සුසුම් හෙලුවේ ඉතා හොද සිහියෙනි. 
ඔවුන් පවක් නම් කරන්නට සිතා සිතන්නේවත් නැති අය බව මා හොදින් දනිමි. 
මේ සියල්ලන්ටම වඩා ඔවුන් දෙදෙනා තරම් ප්‍රේමයෙන් සිටි කුරුලු ජෝඩුවක් මා සිනමා පටයක හැරුනු කොට සැබෑ ජීවිතයේ නම් දැක නැත. පියාගේ මරනයෙන් හරියටම වසරයි සතියකට පසු අම්මද ඔහුව සොයා ගියේ ඒ නිසාම වන්නත් ඇති බව මට විටෙක සිතේ. 

ධර්මය හෝ භෞතික විද්යාව මරනයෙන් පසු චාරිකාව ගැන කෙසේ කීවත් ඔවුන් දෙදෙනා දැන් එක පැත්තේ කියා යයි මා යටි සිත මට යම් සතුටු දායක පනිවිඩයක් දෙයි. 

මා සතුටින් සිටිමි. මා දනිමි මාගේ මව සහ පියා මෙතරම් මහන්සි වූයේ දුකෙන් ජීවත් වන කඩාවැටෙන පෞරුශයක් ඇති මිනිසෙකු ලොවට බිහි කිරීම උදෙසා නොවේ. ඔවුන්ට මා ගැන සිටිනා ආත්මයක සිට බලා දුක් වීමට අවැසි වන්නේ නැත. ඝන වනාන්තර වල කූඩාරම් ගසා තනිව රාත්‍රීන් පහන් කල මහට කොන්ක්‍රීට් නිවසක තනිව උයා පිහාගෙන වැඩ කරගෙන ජීවත් වීම මහට දුකට වඩා ඇඩ්වෙන්චර් එකකි. මා අලුත් රෙසිපි අත් හදා බලමි. මාගේ පූසොන් දෙදෙනා සහ බල්ලාද සමග සතුටින් ජීවත් වෙමි. 

අවසන් වශයෙන් මා ඔවුන්ට මෑත ආත්මයක නිර්වානය නම් නොපතමි. 
ඔවුන්ට පෙම් කිරීමට මේ අවුවුරුදු ගාන මදිවිය. ඔවුන් දෙපල තව පෙම් කල යුතුය. ඒ මේ කාලකන්නි රටේ නම් නොවේ. පුලුවන්නම් වියනාවට, පැරිසියට, ඇදී යන්න. පැරිස් පෙම්වතුන් වන්න. ඉන් පසු ප්‍රඥාව වඩන්න.... එතෙර වන්න.....!

PS තවද මා ගැන අවන්කව සොයා බලන මිතුරු මිතුරියන්ට ස්තූති කරමි.  ❤️

DuLee