Powered By Blogger

Monday, May 30, 2016

සිහින, සම්මුතීන් සහ යථාර්තය

සිහින, සම්මුතීන් සහ යථාර්තය 



කලකට පසු ලිපියක් ලිවීමට සිතුනේ, කාලයක සිට මාගේ සිත සමග මමම එළඹ සිටි ද්වන්ද සංග්‍රාමයේ ප්‍රතිපලයක් ලෙසිනි. එම සංග්‍රාමයේ ජයග්‍රහණය හෝ පරාජය තීරණය කිරීමට තවමත් කාලය මදි යයි සිතේ. අද විශේෂ දිනයක් වනුයේ මා අද මාගේ 27 වන උපන්දිනය සමරන බැවිනි. සැබවින්ම අද දින මාහට ඇත්තේ සතුටක්ද දුකක්ද යන්න මේ ලිපියේ අවසනයයේ ඔබට සිතාගත හැකිවනු ඇත. අද දින වන විට මා කෙතරම් දුරට සාර්ථක වී ඇත්ද, මාගේ සිහින කරා මා හඹා ගොස් ඇත්ද, ඒවා ජයගෙන ඇත්ද එසේත් නැතිනම්, සමාජ සම්මුතීන් සහ යථාර්තය හමුවේ මා දන ගසා ඇත්ද, මා පැරදී ඇත්ද... මේ මාගේ සිත සහ හදවත එක්ව මාගෙන් අසන අසන ප්‍රශ්න කිහිපයකි. 

මොනවද මේ සිහින,

අපගේ ජීවිතයේ අප නොයෙකුත් දේවල් ලබා ගැනීමට හෝ ඉටුකර ගැනීමට සිහින දකිමු. කිසියම් වූ අභිප්රෙරනාත්මක සාධකයක් මේ සෑම සිහිනයක් පසු පසම ඇත. සමහරක් විට කිසියම් වූ දෙයකට ඇති නොනිමි ආශාවක්, ඔබව මෙහෙයවනු ඇත. එහෙත් මේ සිහින හඹා යාමේදී අපට තීරණාත්මක වන සාධක කිහිපයක්  බලපානු ඇත.  අප ජීවත් වන පරිසරය, ආශ්‍රය කරන මිතුරන්, දෙමව්පියන්, ගුරුවරු, ආදරය කරන අය, ආර්ථිකමය පසුබිම සහ අධ්‍යාපනික පසුබිම (සමහරක් අයට සෞක්යමය සාධක තිබිය හැක ) රටේ දේශපාලනමය ස්ථාවරත්වය වෙනි දෑ අපගේ මේ සිහින කරා හඹා යන ගමනේදී දැඩිව බලපානු ඇත. අපගෙන් අප 5 වසර ශිෂ්‍යත්වය ලියද්දි කිසිවෙකු ඇසුවොත් "පුතේ ඔබ මොනවගේ කෙනෙක් වෙන්නද  ඉන්නේ කියා" ඔබ වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවෙකු හෝ වෙනත් ඔබ ආසා කරන වුර්තියක් ඔබ පවසනු ඇත. ඔබ සාමාන්‍ය පෙළ ලියද්දි කෙනෙකු ඔබෙන් ඇසුවොත් ඔබ මොනවගේ වුර්තිකයෙකු වීමට සිහින දකින්නේ දැයි කියා කලින් වෛද්‍ය වරයෙකු වන්ට ආසා යයි කියූ පිරිසෙන් බොහෝ සුළුතරයක් පමණක් එම පිලිතුරම දෙනු ඇත. ඔබ උසස් පෙළ පළමුවර දෙවන වර ලියද්දි තවත් මේ ප්‍රතිශතය අඩුවනු ඇත. එහෙත් අවසානයේ ඔබට කිසියම් වූ රැකියාවක් හමු වනු ඇත. එහෙත් ඒ රැකියාවට ඔබ පැමිණියේ ඔබගේ සිහිනයට ඔබ අකමැති නිසාම නොවේ. සමහරවිට ඔබ ඒ රැකියාවට අවශ්‍ය සුදුසුකම් සපුරා නැති නිසාය. සමහර විට සුදුසුකම් ඇතත් මුදල් නොමතිකමින්ය. නැතහොත් සමාජ සමුතීන් සහ කාලය, යථාර්තය විසින් ඔබව පසුපසට අදින නිසාය. මාගේ ලිපියේ දෙවන භාගයට දැන් පැමිණෙමි.

මෙතනින් පසුව මදක් මම මාගේ පව්ද්ගලික ජීවිතයෙන් උදාහරණ කිහිපයක් ගැනීමට පසුබට නොවෙමි. 

මාගේ ජීවිතයේ පළමු සිහිනය වුයේ තාරකා විද්‍යාව පිලිබඳ විද්වතෙකු වීමටයි. ඒ මට අවරුදු 10 දී පමණය. එයට පාදක වුයේ මා පාසල් ගිය van රථයේ මා අසලින් සිටි එවකට සාමාන්‍ය පෙළ කල මාගේ ප්‍රදේශයේ සිටි රත්නාවලී බාලිකාවට ගිය අක්කා කෙනෙකු නිසාය. ඇය නිතරම ඇයගේ නෑදෑයකු වන තාරකා විද්වතෙකු ( Astronomy Scientist ) වන දැනට ඇමෙරිකාවේ මහාචාර්ය කෙනෙකු සහ Pennsylvania University හි ආචාර්ය උපාධි දාරියෙකු වන Prf Thulsi Wikramasingha (Phd in Theoratical Cosmology & Gravitation) අයියා ගැන නිතරම මා හා පැවසීමයි. ඔහු එකල මාගේ වීරයා විය. විශ්වය, අහස , විද්‍යාව මේ දේවල් වලට ආසා කරන්නට පෙළඹුනේ එකලය. මේ විද්‍යාවට තිබු ආසාව නිසාම විදුසර පත්තරය මාගේ ප්‍රියතම පුවත්පත විය.මම 8වසර 9වසර වනවිට තදින්ම Prf නලින් ද සිල්වා ගේ "අපේ ප්‍රවාද" තීරය කියවීමට ඇබ්බැහි වී තිබුණි. තවද එක දිනක් ලාංකීය භාව්තික විද්‍යාව පිළිබඳව  මහාචාර්ය වරයෙකු හා වාමාංශික දේශපාලනය පිලිබඳ ක්‍රියා ධරයෙකු වූ දිවංගත මහාචාර්ය ඔස්මන් ජයරත්න මහතාට දුරකථන ඇමතුමක් ගෙන "sir භෞතික විද්‍යාව සහ මාර්කස් වාදය අතර ඇති සම්බන්දය කියල දෙන්න පුලුවන්ද?" කියා ඇසුවා මතකය ඇත්තෙන්ම එකල මා භෞතික විද්‍යාව හෝ මාර්කස් වාදය ගැන මෙලෝ දැනුමක් තිබුණු අයෙක් නොවුනි. විදුසර පුවත්පතේ තිබු එතුමාගේ නම්බරය මාගේ කුතුහලය අවිස්සුවේය. මම 9 වසරේ වගේ ඉන්ට ඇත. පසුකලෙක මා කුතුහලයට පත්කළ තවත් විෂයක් වුයේ අධි මනොවිද්යවයි (Parapsychology). 2003 අව්රුද්දේ කඳුබොඩ ජාතන්තර භාවනා මධ්‍යස්ථානයේ නායක ස්වාමින්වහන්සේ වශයෙන් වැඩ සිටි මඩවල උපාලි ස්ථවිරයන් විසින් පලකරන ලද "අධිමනොවිද්යාව්" නම් පොත කියවූ මම භාවනා මධ්‍යස්ථානයට ගොස් උන්වහන්සේ හමු වීමි. එහිදී උන්වහන්සේ විසින් විවිද පරීක්ෂණ කරන බව මට දැකගන්නට ලැබුණි. මේ සඳහා කොළඹ විශ්ව විද්යාලයේ මහාචාර්ය චන්දන ජයරත්නයන්ද සහභාගී විය. ouja board එකෙන් බුතයන් අල්ලන සැටි, භාවනාවෙන් මනසට වෙන විපර්යාස වෙනි දෑ එහිදී පරීක්ෂණයට ලක්විණි. මෙහිදී සිදු වූ විශේෂතම සිදු වීමක් නම් මගේ පසුකලෙක හොඳම මිතුරෙකු සහ ගමන් සගයා වූ ලක්ෂ්මන් චෞධ්රි සහෝදරයා හමුවීමයි. මම එකල 9 වසරේ සිසුවෙක් වීමි. මේ සිදුවීම් සහ අභිප්රෙරනාත්මක සාධක නිසා මා "විද්‍යාවට" පෙම් බැන්දෙමි.

තවද මාගේ පියාගේ මිතුරෙකු වූ "ජයකොඩි" මාමා මාගේ අනෙක් තීරණාත්මක සාධකය විය. ඔහු යුරෝපයේ අවරුදු ගණනාවක් ජීවත්ව රටවල් 12ක පමණ ගොඩබිමින් සංචාරය කල සැබෑම ගවේශකයෙකු විය. ඔහු එකල නිතරම අපේ ගෙදර පැමිණියේ ඔහුට මාගේ පියා විසින් මගුලක් ජෝඩු කිරීම නිසාය. ඔහු කෙතරම් ලොව පුරා ඇවිද්දත් ඉතිරි කරගත් මහා දනස්කන්දයක් නොතිබුණි. කිසිම රටක පුරවැසි භාවයක් ගැන හෝ ඔහු උනන්දු වී නොමැත. එහෙත් ඔහු ලේකකයෙකු ලෙස පොත් කිහිපයක් ලියා තිබුණි. සංචාරක අත්දැකීම් ගැන. ඔහු අපේ ගෙදර පැමිණි විට නිතරම ජාත්‍යන්තර දැනුම මට කියාදෙයි. ලෝකයේ රටවල දේශපාලනිකමය හා භූගෝලීය දැනුම ඔහු මෙලෙස පැය ගණන් මට කියා දෙයි. ඔහුටම උරුම වූ වාග් ශෛලිය සහ මුහුණේ ඉරියවු සිදුවීමට අනුකුලව නාට්‍යනු සාරයෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව නිසා මේ ලෝක කතන්දර ගැන කුතුහලය තදින්ම මට ඇතිවී තිබුණි. අවසානයේ "ජයකොඩි මාමා" නිසා මට සංචාරය පිලිබඳ ඇල්ම තදින්ම ඇති විය. ඔහුගේ දර්ශනය වුයේ ඇවිදීමයි. එක රටක දීර්ගකාලීනව සිටීමට ආසාවක් ඔහුට නොතිබුණි. මා අදටත් ඔහුට ගරු කරමි. අදටත් ඔහුගේ කතන්දර ඇසීමට අසා කරමි. Wikipedia නොතිබුණු එකල Wikipedia වුයේ ඔහුය. ඊශ්‍රායලයේ සිට මෙහෙයවූ "Operation Thunderbolt" වෙනි මෙහෙයුම්, Jonathan Yoni Nethanyahu වෙනි විරුවන් ගැන Mossad වෙනි බුද්ධි අංශ ගැන මුලින්ම මම ඇසුවේ ඔහුගෙන්ය.  ඔහුගෙන් මාගේ අසාවන් ගොන්නට "සංචාරය" එකතු විනි. 

එකල සිට අද වන තුරු පුරුද්දක්ව තිබු Sunday Observer පුවත්පත මාගේ ජීවිතයේ අනෙක් වැදගත්ම සාධකය වී තිබුණි. වාසනාවකට මාගේ පියා එම පුවත්පතේම පුවත්පත් කලාවේදියෙකු ලෙස සේවය කල බැවින් එය නොමිලේම එකල මට කියවන්ට ලැබුණි. එක දිනක් 2003 අව්රුද්දේ අග බාගය වන්ට ඇත. මම එක්තරා දැන්වීමක් දුටුවෙමි. ඒ දැන්වීම පල කර තිබුනේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසිනි. දැන්වීමේ තිබුනේ ඇමෙරිකාවේ ගුවන් හමුදා ඇකඩමියේ (US Airforce Academy ) ශිෂ්‍යත්වයක් පිළිබඳවයි. ගුවන් ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට අවරුදු 4කට. මේ  දැන්වීම මාගේ කුතුහලය වෙනතකට යොමු කරන්ට විය. "ගුවන් යානා" මාගේ නවතම ප්‍රේමය විය. ඇත්තටම මම ගුවන්තොටුපලකට ජීවිතේට ගොස් තිබුනේ නැත. මාගේ පරම්පරාවේ හෝ නෑදෑයන් කිසිවෙකුත් මේ ශේෂ්ත්රයේ සිටියේ නැත. ගුවන් යානා වලට ආසා කිරීමට මුලික හේතුන් වුයේ, එහි ඇති විශ්මයජනක භාවයත්, ගුවන් යානා පැදවීමේදී ලැබෙන්නාවූ සුන්දර අත්දැකීමත් නිසාය (උපකල්පිත). මාගේ මනස , ශක්තිය , සිහින , ඉලක්ක සියල්ල ගුවන්යානා දෙසට විතැන් විය. රත්මලානේ පව්ද්ගලික ගුවන් පාසලක පාසල් නිවාඩු කාලයේ පවත්වනු ලබන "Holiday Course" එකකට යාමට කෙසේ හෝ ගෙදරින් අවසර ගතිමි. මාගේ පියා දැඩි සම්ප්‍රදායික මත දාරියෙකු බැවින් මේ දින 5 පටමාලාව කිරීමටද මට ගෙදර විප්ලවයක් කිරීමට සිදුවිය. කෙසේ හෝ යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂනිකයෙකු වූ මගේ ලොකු මාමා (දැනට ජීවතුන් අතර නොමැත .)ගේ පෙරැත්ත නිසාම මාගේ පියා මට එය කිරීමට අවස්ථාව  ලබාදුනි. 2004 අවුරුද්දේ විය. 

                                                                      "ලෝකය පිලිබඳ හැදෑරීම, සංචාරය, විද්‍යාව, ගුවන්යානා, අභියෝග, වික්‍රමාන්විත ක්‍රියා " මේ සාධක දැඩි වශයෙන් මාගේ මනසට කාවැදී තිබුණි. මේ සියල්ලන්ටම ගැලපෙන්නා වූ වුර්තිය "ගුවන් නියමුවෙකු" වීම යයි මම තේරුම් ගතිමි. එහෙත් ටික කලක් ඇතුලත තවත් දෙයක් තේරුම් ගතිමි. එනම් ලංකාවේ ගුවන් නියමුවෙකු වීමට නම් එක්කෝ ගුවන් හමුදාවට බැඳිය යුතු විය, නැතහොත් සල්ලි යහමින් ගැවසෙන පව්ලක උපත ලබා තිබිය යුතු විය. ගුවන් හමුදාවට බැඳීමට දෙමව්පියන් අකමැති වනවා යන්න මා මුල සිටම අවබෝද කරගෙන තිබුනේ මම පව්ලේ එකම දරුවා සහ යුද්දය එකල තිබුණු බැවිනි. මාසික වේතනය 30ක් 40ක් (එකල) ගන්නා පත්තරකාරයෙක්ගේ පුතෙකුට ජාතික ගුවන් සේවයේ ගුවන් නියමුවෙකු වීම සැබවින්ම සිහිනයකි. එහෙත් සිහිනය අමතක නොකලෙමි. සිහිනයේ ජීවත් වීමෙන් පමණක් පලක් නොමැත. වැඩ කල යුතුමය. මාගේ ලිපියේ දෙවන බාගය  මෙතනින් අවසන් කරමි. 

ජීවිතය නොයෙකුත් හැල හැප්පීම් උස්පහත් වීම් මැද්දේ ගලා ගියේය. ආදරය, වෛය්රය, දුක, සතුට සියල්ල විඳිමින් දන්නේම නැතුව වයස 27ත් විය. සැබවින්ම මා සිහිනය ජයගත්තෙමිද?

නැතහොත් යථාර්තය සහ සමාජ සම්මුතීන් විසින් මාව වට්ටා දැමුවේද ?

ජීවිතයේ අප කුඩා කල සිතන ප්‍රර්ථනා කරන සියල්ල ඉටු කර ගැනීම පහසු නොවනු ඇත. "කාලය , යථාර්තය සහ සමාජ සම්මුතීන් " විසින් අපට පහර දෙනු ඇත. මොනවද මේ සමාජ සම්මුතීන්? අප මිනිසුන් වශයෙන් කසාදයක් බැඳ ළමයි සාදා ගෙයක් දොරක් සාදා ගැනීම ප්‍රදනතම සම්මුතියකි. මේ සම්මුතියෙන් බැහැර වන්නන් "පරාජිතයන්, නරක මිනිසුන්, පිස්සන් හෝ වෙනත් නමකින්" හංවඩු ගසනු ඇත. උදාහරණයක් ලෙස මම දෙබසක් යොදාගන්නෙමි.

"එයාට මොනවා තිබ්බත් වැඩක් නැනේ, ලමෙක් ගැණියෙක් නැතුව, කවදාහරි මේ හම්බ කරන ඒවා කාටද, කවදාහරි වයසට ගිය දවසට බලාගන්නේ කව්ද ? " වශයෙන්. 
මේ  දේවල් සැබෑවක් විය හැක. එහෙත් බොහෝ මිනිසුන් තම තරුණ වියේ මධ්‍යම කාලය වන විට සිහින සම්පුර්ණයෙන්ම අමතක කර දමා තනිකරම සමාජ සම්මුතීන් විසින් වෙලාගනු ලබයි. ඔව්න්ගේ සිහින තවදුරටත් සිහින නොවේ,සමාජ සම්මුතීන් ඔව්න් සිහින ලෙස දකින්ට ගනී. ඔව්න් "ඕව ඉතින් පොඩි කාලේ හිතන දේවල්නේ, දැන් ඉතින් ජීවිතේට මුණ දෙන්න ඕනේ, මොකක් හරි ජොබ් එකක් සෙට්  කරන් පව්ලක් හදාගෙන ගෙයක් දොරක් හදාගන්න ඕනේ. මිනිස්සු මොනවා නොකියයිද", අවසානයේ ඔව්න් සමාජ සම්මුතීන් ඉදිරියේ සිහින පාවා දෙනු ඇත.

මිනිසෙකුට ගෙයක් දොරක් වහනයක් ගැනියෙක් ඕනෙම විය හැක. එහෙත් එම මුලික අවශ්‍යතාවයන් උදෙසා අපගේ ජීවිතමය දැක්ම, සිහින පාවා දෙන්නේ නම් ඔහු හෝ ඇය කරගන්නේ තමාටම විශාල අසාදාරනයක් නොවේද. අවසානයේ ඔව්න්ට ජීවිත කාලයක් ගෙවන්නට තිබෙන නිවාස ණයක්, ෆිනෑන්ස් කල වහනයක් සහ අතෘප්තකර සහකාරියක සහ ළමයෙකු දෙන්නෙකු ඉතිරිවනු ඇත. අවසානයේ මාරයා විසින් නොමිලේ හර්දයබධයක්ද ලැබෙනු ඇත. උවමනා තරම් මෙසේ මිනිසුන් මට හමුවී ඇත. "මම ඉස්සර අසයි wild life photography වලට, campus ඉන්න කාලේ යාළුවොත් එක්ක කලා. ඊට පස්සේ ජොබ් එකක් හොයාගන්න try කළා. ජොබ් එක සෙට් උනගමන් කසාද බැඳගන්නැයි උවමනා කලේ, බැන්දට පස්සේ ළමයි හදන්න. ඊට පස්සේ උන්ගේ ශිෂ්‍යත්වේ, සාමාන්‍ය පෙළ, උසස් පෙළ. මේ අතරේ ගෙවල් හදන්න, වාහන වල finance ගෙවන්න. අඩු ගානේ wife එක්ක කතා කරන්න වත් වෙලාවක් නැහැ. එයා එනකොට 7යි. මම එනකොට 8යි. ඊටපස්සේ ළමයින්ගේ වැඩ. නිදාගන්නකොට 12ත් පැනල. " 

මේ මම අසපු එක පුද්ගලයෙක්ගේ දෙබසක් පමණි. තවත් මෙවැනි කතන්දර උවමනා තරම් අසා ඇත. 

සිතන්න "මේ ජීවිතේද?" 

මොහු ජීවිතේ විඳිනවද වින්දවනවද? මේ සම්මුතීන් ජීවිතේට අත්‍යවශ්‍ය බව නොරහසකි. එහෙත් සම්පුර්ණයෙන්ම මේ සම්මුතීන් විසින් ජීවිතය ගිල දමා ඇත. සිහින ගිල දමා ඇත. ජීවිතයේ සුන්දරත්වය, ලෝකයේ සුන්දරත්වය , කලාවේ සුන්දරත්වය විඳීමට ඔහුට කාලය නොමැත, මුදල් නොමැත. ඔහුගේ දරුවන්වද එම මාර්ගයේම ගමන් කිරීමට පටන් ගතහොත්, දරුවන්ගේ දරුවනුත්.....

තවකෙක් කියනු ඇත... "මල්ලී මේක තමයි ජීවිතය..... ඕකට මුණ දීපන්..... " මම ඔහුත් සමග තර්ක නොකරමි. ඔහුට මාව මෝඩයෙකු සේ පෙනෙනු ඇත. මට ඔහුව මෝඩයෙකු සේ පෙනෙනු ඇත. ඔහු සමහරවිට ජීවිතයේ සිහින දකින්න ඇත්තේ මේ "අනිවාර්ය" සම්මුතීන් සිහින ලෙස වටහාගෙන විය හැකිය. දැන් ඔහුට නිවසක් ගෙයක් ගැහැනියක් වහනයක් ඇත. මින් ඉදිරියට ඔහුට සිහින නොමැත. මා මේ ලිපිය ලියන්නේ අනිවාර්ය සම්මුතීන් තම සිහින කරගත් මිනිසුන් වෙනුවෙන් නොවේ.මුල සිටම ජීවිතයේ දැක්මක්, යම් පමණකට හෝ ජීවත්වීමේ රසවින්දනයක් ඇති මිනිසුන් වෙනුවෙනි. ජීවත් වීමේ රසවින්දනය යනු අරක්කු බෝතලයක් වටේ සිට එය ඉවර කර, එක එකා ගැන ඕපාදුප කීම, සින්දුවක් දෙකක් කියා විසිර යාමද නොවේ . මමද අමධ්‍යප නොවේ. එහෙත් මීට එහා අපට ලෝකයේ බොහෝ ආශ්චර්යමත් දේවල් විඳීමට ඇත. කලාව, සංචාරය, සංගීතය සහ අධ්‍යාත්මය, මේ  සැම දේම සම්මිශ්‍රණයක් තිබේ නම් මම එහි ජීවිතයේ විඳීම දකී. 

මේ දේවල් කිරීමට අපට සිතන තරම් මුදල් අවශ්‍ය නොවනු ඇත. සමහරවිට මුදලක් අවශ්‍ය නොවනුම ඇත. අවශ්‍ය වනුයේ "කාලය සහ අවශ්‍යතාවය පමණි". සමාජ සම්මුතීන් තුලින් ඔබව දන ගැස්සවූ විට මානසික ආතතිය විසින් ඔබව වෙලා ගනු ඇත. මීළඟට ශාරීරික අබාධ වැලන්දෙනු ඇත. සැබෑවකි අපට සැමදා නිරෝගිව සිටිය හැකි නොවේ. එහෙත් උත්සහ කල හැක.


"යථාර්තය සහ යුතුකම් " 

සිහින කරා යන ගමනේ අපට හමුවන භයානකම සතුරා "යථාර්තය" ලෙස මා දකී. සම්මුතීන් යනු අපට මදක් හෝ වෙනස් කල හැකි, හෝ අර්ධ වශයෙන්  බැහැර කල හැකි දෙයකි. එහෙත් යථාර්තය අපට වෙනස් කල නොහැක. ඉවසන්න මම මාගේ ජීවිතය තුලින්ම උදාහරණයක් ගන්නම්.

ගුවන් නියමුවෙකු වීමේ සිහිනය පසුපස හඹා ගිය මා අවසානයේ නැවතුනේ ගුවන් තොටුපල සැලකිව යුතු රැකියාවක් සොයා ගනිමිනි. එය මාගේ දෙමව්පියන්ට ඉහටත් උඩින්ය. මා විශ්වාස කරන්නේ, අහස අල්ලන්න ගිය නිසා මම පොල් ගසෙන් නැවතුන බවය. එහෙත් මේ මගේ සිහිනය නොවේ. තවමත් ලක්ෂ 70ක් 80ක් සෙවීම ලංකාවේ සිට ලෙහෙසි ඉලක්කයක් නොවනු ඇත (ගුවන් නියමුවෙකු වීමේ වර්තමාන වියදම). එහෙත් එය ලෙහෙසි කරගැනීමේ අවස්ථා මට උවමනා තරම් තිබී ඇත. වෙනත්  රටකට ගොස් අව්රුදු දෙකක් වැඩ කලා නම් ලක්ෂ 40ක් විතර සොයාගැනීමට තිබුණි. එහෙත් යථාර්තය සහ යුතුකම් විසින් මාව දන ගස්වනු ලැබිණි. එනම් පව්ලේ තනි දරුවා සහ අසනීපයෙන් පසුවන මව සහ තවමත් සම්ප්‍රදායික ජීවිතයක් ගතකිරීමට කැමති පියා ලංකාවේ දමා යාමට තරම් මාගේ සිහින මට වැදගත් නොවන බැවිනි. යථාර්තය විසින් මාව දනගස්සවා ඇත. 

එහෙත්.......

ජීවිත් වීම නම් කලාව සුන්දර වන්නේ, එම කලාවේ උත්කෘෂ්ටතාවය (Sublime) වැඩි වන්නේ, එම කලාවේ සරලබව පසුපස ඇති සංකීර්ණත්වය තුල යයි මම දකී. සියල්ල සතුටින් සිදුවන්නේ නම් එහිද ජීවිතයක් නොමැත, සියල්ල දුකින් කෙලවර වෙයි නම් එහිද ජීවිතයක් නොමැත. මිනිසා ලොව රජයන්නේ, මිනිසා හට ඉතිහාසය විසින් ලබාදුන් සියලු අභියෝග ජයගත් බැවිනි. මිනිසා සාර්ථකව අනුවර්තනය වෙමින් නව්‍යකරණය වූ බැවිනි. එසේ නොමැති නම් මිනිසා තවමත් ගල් යුගයේ පසුවනු ඇත. යථාර්තය විසින් අපව දනගස්වාද්දී, අප එයට යම් ප්‍රතිරෝධයක් නොදක්වා සිටිය යුතු නැත යයි මා සිතමි. සමහරවිට යම් නව්‍ය සිතුවිල්ලක් අපව නොසිතන මානයකට රැගෙන යනු ඇත. එහිදී යථාර්තය පරාජය විය හැක. "විය හැක...." ඔව්, මමත් තවම උත්සහ ගනිමි, යථාර්තය හමුවේ නැගී සිටීමට එහෙත් යුතුකම් අමතක නොකරමින්. යථාර්තය සහ අනිවාර්ය සමාජ සම්මුතීන් අප විසින් ප්‍රතිශතාත්මකව පිළිගත යුතුව ඇත. එහෙත් අපගේ සිහින ඒවා උදෙසා පාවා නොදීමට තරම් අප Smart විය යුතුය, සහ සිහින පසු පසම හඹා ගොස් අවසානයේ පසුතැවී , යුතුකම් මගහැර දුක්වීමට තරම් අප මුග්ධ (Dumb) විය යුතු නැත. 

අවසානයේ කිව යුත්තේ, අප කිසිවෙකු සර්ව සම්පුර්ණ සහ සර්ව සමාන නොවේ. එහෙයින් මා ගොඩ නැගු ප්‍රස්තුතයන් සියල්ලන්ටම අදාල විය නොහැක. මම කිසිවෙකුත් සමග ජීවත් වීමේ කලාව පිලිබඳ තර්ක නොකරන්නේ එම හේතුව නිසාය. එහෙත් මා  ලඟින් සිටින හිතවතුන්ව යම් යම් දේ කිරීමට අභිප්‍රේරණය කරන්නේ සමහරවිට ඔව්න්ට එම අභිප්‍රේරණය තුලින් ඔවුන්ගේ සැබෑ වින්දනය කරා යාමට හැකිවේ යයි යන අහිංසක උපකල්පනය තුල සිටගෙනය.

Dulitha Kasun