Powered By Blogger

Saturday, July 6, 2019

පරාවර්තන (කෙටි කතාව)

පරාවර්තන (කෙටි කතාව)

"ඒකි හරිම ආසයි මාත් එක්ක ගොලුමඩම හන්දියෙ ආශා හෝටලෙන් ඌරු මස් එක්ක බිත්තර රොටි කන්න, අපේ  ගෙදර තිබ්බෙ සොයිසපුර. ඒක ගෙයක් කිව්වට පොඩි කාමරේකුයි කුස්සියයි, සාල කෑල්ලකුයි කුස්සියයි ඔක්කොම එකට තිබ්බ පොඩි ගේ කෑල්ලක්. හැබැයි ඒකියි මායි සතුටින් හිටිය බන්. සදුනිව මට සෙට් උනේ මම බියගම කලාපෙ බුක් හයර් එකක ඩ්‍රයිවින් කරන දවස් වල, එතකොට මට වයස 27ක් 28ක් වෙන්න ඇති. මම ඒ දවස් වල ගොඩක් ආතල් එකේ හිටිය චරිතයක් බන්. අතේ සතේ නැතත් හිතේ සතුට තිබ්බ. මම සදුනිව දැක්කෙ ෆැක්ටරිය ලග වෙසක් දවස් වල තිබුන බත් දන්සැලකදි."

 "ඒකි සුදු කෙට්ටු කෙල්ලෙක් බන්. ඇස් දෙකේ කලු ඉන්ගිරියාව කහපාටට හුරුයි. හරියට මගෙ නැතිවුන අම්මගෙ වගේ. මට ඒකි දැක්ක වෙලාවෙ දැනුනෙ මගෙ අම්ම ආයෙත් මගෙ ලගට ආව වගේ හැගීමක්. ඔය කිව්වට අපේ අම්මයි මමයි අතර ලොකු බැදීමක් තිබ්බෙ නෑ. අම්මට ආදරෙයි කියල හැමදාම හිතුවත් මගෙ හිතේ තිබ්බ තරුන මදේ ලොකුකම ගහපු මොකද්දෝ උද්දච්චකමක් මට මගෙ අම්ම ගැන තිබ්බ ආදරේ කියාගන්න ඉඩ දුන්නෙ නෑ. අඩු ගානෙ බන් අම්මට මගෙ අතින් බත් කටක් කන්න දෙන්න මට බැරි උනා අම්ම මැරෙද්දි පපුවෙ අමාරුවක් හැදිල. මට රස්සාවක් තිබ්බෙ නෑ බන් අම්මව හොද ඉස්පිරිතාලෙකට එක්ක යන්නවත්. "

"සදුනිව දැක්කම මට හිතුනෙ අම්මට දෙන්න බැරි උන ආදරේ දෙන්න කෙනෙක් හම්බුනා වගේ හැගීමක්. මම බඩුකාරයෙක් තමයි හැබැයි උඹ විශ්වාස කරයිද මම දන්නෙ නෑ. මම ඒකිට කැමති උනේ ඒකිගෙ පුක දිහා බලලවත් තන් දෙක දිහා බලලවත් නෙමෙයි, අර කහ පාටට හුරු ලස්සන ඇස් දෙක දැකල."

ඔහු එක දිගට කියාගෙන යයි.

චමින්ද "ඇතුලට" ගිහින් දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගොසින්ය. වැලිකඩ ආව මුල දවස් වල දැනුන අමාරුව දැන් ඔහුට ඒ තරම් නොදැනේ. චමින්දගේ සෙල් එකට දැම්ම රුවන් ගන්ජ සීන් එකකට ඇතුලට ආව පොඩි එකෙකි. වයස නම් අවුරුදු 25කට වඩා නැත. කොහොම හරි චමින්දට පෑහෙන ගතිලක්ශණ රුවන්ටද තිබුනි.

රුවන්ටද චමින්දගේ ස්ටෝරිය රස වැටී ඇත. "චමින්ද අයිය ඉතින් කියපන්කො. උඹ කොහොමද බන් සදුනිව සෙට් කරගත්තෙ?"

"සදුනි හිටපු බෝඩිමේ ප්ලේස් එක මම මගෙ බුක් හයර් එකේ හිටපු කෙල්ලෙක්ගෙන් අහල දැන ගත්ත. ඒකි හිටියෙ සියබලාපෙවත්ත හරියෙ බෝඩිමක. මම තව සීන් එකක් හොයා ගත්ත. ඒකි හැම පෝයටම සියඹලාපෙවත්ත බෙල්ලකපපු හන්දියෙ පන්සලට එනව කියල යාලුව එක්ක. මම ඕක නෝට් කරල හරියටම දන්සැල තිබ්බ වෙසක් පෝයට පස්සෙ පොසොන් එක දවසෙ හැන්දැ වෙලා පන්සලට ගියා. ඒකි එන ටයිම් එක හොයාගත්තෙත් අර කෙල්ලගෙන්මයි. උඹ කියන්නෙ රුවනො, ඒකිගෙ සුදු මූනට හද එලිය වැටිල දිලිසෙනව දකිද්දි මගෙ හිතට හරිම සනීපයක් දැනුන බන්. ඒකි අතේ තිබ්බ සුදු නෙලුම් මල් දෙකට වඩා ඒකි ලස්සනයි බන්. මට ඒකිගෙ ඇස් දිහා හොරෙන් බලන්න හිතුන. ඒත් මට ලැජ්ජයි බන්. මොන බඩ්ඩ ටෝක් කලත් සිරා හැගීමක් එන එකීට ටෝක් කරන්න ලේසි නෑනෙ බන්. සමහර විට ඒකිට කොල්ලෙක් ඇති කියලත් හිතුන. ඕන හු&£+ක් කියල මම ඒකිට වචනයක් දාන්න හිතුව. උඹට මම ඒ වෙලාවෙ කතා කරපුව කියන්න යන්නෙ නෑ. ඒත් උඹට මේක කියන්නම්. ඒ පෝය දවසෙ අන්තිම පැය ගත වෙද්දිත් මම ඒකිගෙ බෝඩිම ගාවට වෙලා කතා කලා, යන්න පිට වෙද්දි ඒකිගෙ සුදු නලලට මම පොඩි හාද්දක් දුන්න. මට ඒ වෙලාවෙ දැනුන එකම දේ එලොව ඉදන් මගෙ අම්ම මට සුරන්ගනාවියක් එවල කියන හැගීම බන්." 

"උඹල දෙන්න එහෙම්ම බදින්න ඇති නේද චමින්ද අයියා එක හුස්මට? "

"ආයෙත් මොනවද බන් මම වැඩිය හිත හිත ඉන්න ගියෙ නෑ, කෙල්ල මට බොක්කෙන් ලව් මම ඒකිගෙන් බදින්න ඇහුව ගමන් ඒකි හා කිව්ව. ඒකිගෙ ගම බදුල්ල හාලිඇල. ඒ පොසොන් පෝයෙන් පස්සෙ තව මාස තුනක්වත් ගියෙ නෑ ඒක අහන්න බන්. ඒකි මට උන්ගෙ ගෙදර එන්න කිව්ව බදින්න අහපු දවසෙම. ඒකිගෙ ගෙවල් බදුල්ල හාලි ඇල.
අපේ ගෙවල් දෙබරවැව, ඒත් මම බෝඩ් වෙලා හිටියෙ බියගම කලාපෙ කිට්ටුව. පස්සෙ කාලෙක මට බාටා එකේ ජොබ සෙට් උනාම තමයි සදුනිව එක්ක සොයිසපුරට ආවෙ. ඉතින් මම බයික් එකේ ඒකිවත් දාගෙන වැහි දවසකම හාලි ඇල යන්න පිටත් උනා. ගෙවල් වලින් මට අව්ලක් දැම්මෙත් නෑ. ඔහොම්ම ඉතින් අපි පොඩියට මගුල කෑව."

චමින්ද මේ අතීතාවර්ජනය කරන කල්හි ඔහුගේ දෙනෙත් අමුතුම දීප්තියකින් දිලිහෙයි. එහෙත් විටෙක කදුලු වලින් තෙත්වන ඒ දෙනෙතේ වේදනාව රුවන්ගෙන් සැගවීමට ඔහු දරන උත්සහය එතරම් සාර්තක නැත.

"කොහොම හරි සදුනි ජොබට යන එක නැවතුනේ පලවෙනි ලමය ලැබෙන්න ඉන්න දවස් වලමයි. ඔය අතරෙ මට බාටා එකේ ලොරියක ජොබ් එකක් සෙට් උනා. ඒකෙ පඩි හොදයි. මම 45ක් විතර ගත්ත බන් ඒ දවස් වල. ඉතින් සදුනිව රසාවට යවන්න ඕනෙ උනෙත් නෑ. මම බුක් හයර් එක කල වෑන් එකේ අයිති සරුත් මට අයින් වෙද්දි 50ක් විතර දුන්න ලමයට බැන්කුපොතක් ඇරල කීයක් හරි දාපන් කියල. හම්බුනේ කෙල්ලෙක්නෙ බන්. ඒක නිසා ටිකක් වගකීමෙන් ජීවත් වෙන්න ඕනෙ කියල අපි දෙන්නම සොයිසපුර ජීවිතේ පටන් ගත්තෙ. "

"උඹට වැලිකඩ එන්න උනේ මොකෝ බන් චමින්ද අයියෙ? උඹල සෑහෙන්න ලස්සනට පවුල් කාල තියෙනවනෙ බන්. මොනවද බන් උඹලට අඩු, උඹත් එහෙම කන්න බොන්න වියදන් කරන එකෙක් නෙමෙයිනෙ." රුවන්ට තවත් ගැටලුවකි

"උඹට මම කිව්වේ ජීව්තේ සතුටු කෑල්ල විතරයි බන්. මිනිස්සු හැමදාම හන්ගන්නෙ දුක කෑල්ල, උඹ අහන නිසා කියන්නම්. මම පොඩි කාලෙ ඉදන් කුකුල් කේන්ති කාරයෙක් බන්. අපේ අම්මත් මම නිසා සෑහෙන්න දුක් වින්ද. පිට ලෝකෙ එවුන් නිසා මට තරහක් ආවත් මම ඒක පිට කලේ අපේ අම්මගෙන්. අම්ම ඕක තේරුම් අරන් හිටිය. ඒත් සෑහෙන්න දුක් වින්ද බන් මන් නිසා. මම උඹට කිව්වෙ සදුනිගෙ ඇස් දෙක දිහා බලපු පලවෙනු වතාවෙම මට අපේ අම්මව මතක් උනේ කියල, ඒ ඇස් අපේ අම්මගෙම ඇස් කියල, ඕකෙ අනික් පැත්තත් මම උඹට කියන්නම්, අපේ අම්මගෙන් පස්සෙ මගෙ ඔක්කොම ගූ වැඩ කර ගැහුවෙ සදුනි බන්. ජොබ් එකේ අව්ලක් ගියත් මම ඒ තරහ පිට කලේ සදුනිගෙන්. ඒකි බත් බෙදල දුන්න පිගානෙන්ම මම ඒකිට ගහල ඇති. පොඩි කෙල්ල ඉස්සරහ මම ඒකිට ගහල ඇති. ඒත් බන් පැයක් යන්න කලින් මම සදුනිව වත්තන් කරන් ආයෙත් අඩල සමාව ඉල්ලනව බන් පොඩි එකෙක් වගේ. ඕක සදුනි දන්නවා. සදුනිගෙ ආදරේ පොඩ්ඩක්වත් අඩු උනේ නෑ ඒ තේරුම් ගැනීම නිසා. පොඩි කෙලී බලන් ඉද්දි ලොකු උනා. ඒකිට ඉස්කෝලයක් හොයන්න අපි නොවින්ද දුකක් නැහැ බන්. අපේ පදින්චි ප්‍රශ්න නිසා ඒ පැත්තෙ ඉස්කෝල ඉල්ලන සහතික හොයලම සදුනිගෙ කකුල් ඉදිමෙන්න ඇති ඒ කාලෙ. කොහොම හරි මම මේ සිද්දිය බාටා එකේ වැඩකරන ස්ටෝරුවෙ සුනිල් අයියට කිව්වා. පොර එක එක මන්ත්‍රීල ඇමතිලට වැඩ කලා ජොබ කරන ගමන්."

"හැබැයි ඌ මට උදව් කරන්න පොරොන්දු උනේ මොරටුවෙ රත්නජීව මහත්තයගෙ චන්ද වැඩ වලට උදව් ඕන කියන පොරොන්දුවත් එක්ක. මට ඔය පෝස්ටර් ගහන වැඩ අනන් මනන් නයිට් ගහන වැඩ එ තරම් අමාරු නෑනෙ බන්. රත්නජීව මහත්තයගෙ පුතා එන්ගලන්තෙ ඉදන් ඇවිත් හිටියෙ ඒ දවස්වලමයි. මට තිබ්බෙ පුතා ගහන ප්ලෑන් කැම්පේන් වලට හෙල්ප් එකක් දෙන්න. දවල්ට බාටා එකේ වැඩ, රෑ වෙද්දි රත්නජීව මහත්තයගෙ කාර්යාලෙ වැඩ. මට දෝනිව ඉස්කෝලෙකට දාගන්න රත්නජීව මහත්තය උදව් කලා. උඹ දැනගනින් මට උදව්වක් කලොත් මම ඌට පන උනත් දෙනව."

"ඉතින් බන් උඹ වැලිකඩ ආවෙ?"

"හිටපන් රුවනො, උඹට කියන්නම්, ගන්ජ සුරුට්ටුවක් ඔතන ඉක්මනට උඹට මේව කියන්න බෑ. පොඩි රත්නජීව මහත්තයට කල් යද්දි මාව හොදටම සෙට් උනා. මට බාටා එකේ ජොබෙන් අයින් වෙලා ඇසිස්ටන් වැඩේ කලොත් හොදට ගෙවන්නම් කිව්ව. ඉතින් මොකට වද විදිනවද බන්. සදුනි පොඩ්ඩක් ඕකට අවුල් දැම්ම. ඒත් මට රත්නජීව මහත්තයගෙ වචනෙ අහක දාන්න බෑ. "

"මට මහලොකු වැඩක් තිබ්බෙ නෑ. පොඩි රත්නජීව මහත්තයගෙ ඩ්‍රයිවර් වැඩේ කලා. ඇසිස්ටන් වැඩ කිව්වට ඉතින් තිබුනෙ පොඩි සර් කෙල්ලො උස්සන් හෝටල් වලට යද්දි ඔත්තු බලන එක තමයි. පොඩි සර් ලන්කාවට ඇවිත් තියෙන්නෙ තාත්තගෙ වැඩ වලට උදව් කරන්න කියල. හැබැයි සෙල්ලක්කාරකම උපරිම තිබ්බ. සතියෙ දවස් හතට කෙල්ලො 7 දෙනෙක් අරන් ගිය දවස් තිබ්බ. සර් හොයන්නෙ අමුතු කෙල්ලො. හැන්ගිච්ච ලස්සනක් තිබ්බ කෙල්ලො. මම ඒ වැඩ වලට සපෝට් කරන්න ඒ තරම් කැමති උනේ නෑ මටත් ඉන්නෙ දුවෙක් නිසා. ඒත් මගෙ රස්සාව මට ඕනෙ. අනික ලොකු සර් මට කරපු උදව් මට අමතක නෑ. පොඩි සර් උනත් මට සැලකුවෙ යාලුවෙක්ට වගේ. සමහරදාට සර් වාහනේ අරන් මාව ගන්න එනව මම පරක්කු උනොත්. ඒත් මට බනින්නෙ නැහැ. හැබැයි මගෙ ජීවිතේ අවසානයත් අපේ සතුටෙ අවසානයත් ලන් වෙනව කියල මට දැනුනෙ නෑ."

"ඒ කිව්වෙ චම්න්ද අයියෙ?"

"දවසක් මට දෙබර වැව මල ගෙදරක යන්න සිද්ද උනා හදිසියෙම. මම පොඩි සර්ට කිව්ව ඕක. කියල බයික් එකේම ගාලු පාරෙ පිටත් උනා දෙබරවැව යන්න. උදේම්ම ගියත් යද්දි හැන්දැ උනා. ගිය ගමන් මම සදුනිට කෝල් එකක් ගැහුවා. හැබැයි ඉස්සුවෙ නෑ පෝන් එක. මම එච්චර හිතුවෙ නෑ. රෑට කන්න ලන් වෙලා ආයෙත් මම කෝල් එකක් ගැහුවා. එතකොට ඉස්සුව. හැබැයි කතා කලේ අමුතු විදියට."

"මම පහුවදා ආයෙත් ගෙදර එද්දි හවස් උනා. සදුනිගෙ වෙනස මට ගොඩක් දැනුනා. මම හාර හාර ඇහුවත් මට කිසිම දෙයක් කිව්වෙ නෑ. ඇගට හරි නෑ කියල මාව මග අරින්න ගත්ත. මට ලොකු සැකයක් ආවා, අර මගෙ හැන්ගිච්ච කේන්තිය, හැන්ගිච්ච යක්සය එලියට එන්න ගත්තා. සැරෙන් සැරේ මම සදුනි ගාවට ගිහින් උර හිසෙන් අල්ලන් හොල්ල හොල්ල ඇහුව ඇත්තකියපිය බැල්ලියෙ උඹ මට මොකක්හරි බලු වැඩක් කලා නේද කියල. මට මාව කන්ට්‍රෝල් නෑ බන් ඒ වෙලාවට. ඉන්න තැනක් මතක නෑ. ඒකි අන්තිමට මට උත්තර දුන්න. සදුනි මට කවදාවත් දෙයක් හන්ගපු කෙල්ලෙක් නෙමෙයි බන්. ඒකි මගෙ දෙවෙනි අම්ම වගේ. ඒත් ඒකි කිව්ව දේ මට දරන්න බැරි උනා."

"මගෙ මහත්තයො පොඩි සර් ඊයෙ ආවා මහත්තය දෙබරවැව ගිය වෙලේ. පොඩි සර්ට මම ඇවිත් වාඩි වෙන්න කිව්ව තේ එකක් බීල යන්න. ආයෙත් මම ඇහුවා මේ හදිස්සියෙ ඇයි කියල. මම නයිටිය පිටින් හිටියෙ මහත්තයො. මම ලමෙක් ඉන්න ගෑනියෙක් කියල පොඩි සර් දන්නවනෙ. ඒත් එක පාර මගෙ ලගට ඇවිත් මාව බදා ගත්ත. මට කෑ ගහන්න හයියක් ආවෙ නෑ මහත්තයො ඒ වෙලාවෙ. අනේ බුදු මහත්තයො මගෙන් ඊට වඩා අහන්න එපා මාව මරල දාන්න මගෙ මහත්තයො. මගෙ මහත්තයගෙ රස්සාවට මොනව හරි උනොත් මගෙ ලමයයි අපි හැම කෙනාමයි ඉවරයි මහත්තයො අනේ මට සමාවෙන්න"

"සදුනිගෙ වචන මට තවත් ඇහෙනෙ නැතුව ගියා බන්. මට පොඩි සර්ව මරන්නම ඕනෙ උනා. මගෙ තරහව මට පාලනය කරගන්න බැරි උනා බන්. මම ඒ වෙලාවෙම පිහියක් කිහිල්ලෙ ගහන් පොඩි සර් හොයන් ගියා පිස්සෙක් වගේ. වෙන හු#&ක් වෙයි. මට තවත් ජීවත් වෙන්න හේතුවක් තිබ්බෙ නෑ වගේ දැනුන. මට හිටියෙ මගෙ ගෑනියි ලමයයි විතරයි බන්. දැන් මගෙ ගෑනි මට නැති වෙලා ඉවරයි වගේ දැනුනෙ."

"උඹ පොඩි සර්ට මොකද කලේ?" රුවන්ට හුස්ම ගන්නත් අමතක සේය.

"මම ඔපිස් එකට යද්දි පොඩි සර් හිටියෙ නෑ. ඊට පස්සෙ මම ඔපිස් එකට වෙලා හිටිය සර් එනකම් මොකුත් උනේ නෑ වගේ. රෑ 8,9 වෙද්දි සර් ආව. මම එහෙම්ම සර් ගාවට ගිහින් ඇන්න මට පුලුවන් හත්තිය දාල. වැඩක් උනේ නෑ බන් සර් ඒ පාරෙන් බේරුනා. ලග හිටිය උන් මාව අල්ල ගත්ත. හැබැයි උන් මට සර් මොනවත් කරන්න කලින් මාව පොලිසියට දුන්න. එලියෙ හිටියත් සර් මාව මරනව මොනව හරි කරල. මිනීමරන්න තැත් කලා කියල මාව මෙතන්ට එව්ව බන්. තව අවුරුදු 8ක් වත් මෙතන ලගින්න වෙයි. දැන් පොඩි සර් පලාත්සබාවෙ. ලොකු සර් පාර්ලිමේන්තුවෙ මට හෙල්ලෙන්නවත් බෑ එලියට ආවොත්."

"සදුනියි ලමයයි බන් එතකොට?"

"සදුනි ආයෙත් ලග ගාමන්ට් එකක ජොබ් එකට යන්න ගත්ත. මට ඊට පස්සෙ ඒකි දිහා කෙලින් බලන්න බැරි උනා බන්. ඒකි වැරදි නැතුව ඇති. ඒත් මට ඒකි දිහා බලද්දි ලොකු වේදනාවක් තරහක් එක්ක අප්පිරියාවක් ආවෙ බන්".

"ඒකි මාව බලන්න ආව හැම වෙලේම වචනයක් දෙකක් කතා කරල යන්න ගියා. ලමය දැන් ලොකු ලමෙක් වෙලා ඇති. සදුනි මාව බලන්න එන එක නවත්තල දැන් මාස 6කට වැඩි ඇති. හිටපන් උඹට පොටෝ එකක් පෙන්නන්න මගෙ සදුනියගෙ"

රාත්‍රී දහයටත් ලගය. ඔවුන් දෙදෙනාට වේලාව ගැන හැගීමක් නොමැත. එහෙත් නිදිමතද ටික ටික පැමිනීම වැලකිය නොහැක. කලකට පසු සිදුවූ මේ මතකාවර්ජනය චමින්දට යම් විරහවක් මුසු වූ අමුතු හැගීමක් ගෙන දී ඇත.  ජීවිතයේ කිසිදු සිහිනයක් ඔහුට නොමැත. ඔහු හට වර්තමානයේ ජීවත්වන සදුනි ගැන කිසිදු දැනීමක් නොමැත. එහෙත් වෙසක් පෝය දා දුටු සදුනිගේ දෑස, පොසොන් පෝය දා සද එලියෙන් දුටු සදුනිගේ වතෙහි සොදුරු බව ඔහුගේ මතකයන් තුල දෝන්කාර දෙයි. ජීව්තයේ සිහින කිසිත් නොමැති, ජීවත් වන්න හේතුවක් නොමැති මිනිසෙකුගේ එකම ගැලවීම පෙර විදි සුන්දර මතක සටහන් තුල ජීවත් වීම බව ඔහුට පසක් වී ඇති සැටියකි.

පසු දින සෙල් එකෙන් එලියට විත් මිරිස් පාත්තියක වැඩකට ඔවුන් යොමු වූයේ සිරගෙදර නිලදාරීන්ගේ අණ කිරීමෙනි. රුවන් චමින්ද සහ වෙනත් සෙල් එකක සිටින අලුතෙන් වැලිකඩ පැමිනි චාමර ඇතුලු පිරිසද මේ වැඩෙහි යෙදුනහ. හදිසියේ චමින්දගේ ඉනේ ගසා සිටි යම් කොල කැබැල්ලක් වැටෙනු චාමරට ඇස ගැටිනි. ඔහු එය චමින්දට දෙන්න පෙර හොදින් බැලුවේය. චාමරගේ නලල රැලි වැටී ඇස් විශාල වනු චමින්ද දුටුවද ඔහුගේ ඉනෙහි ගසා සිටි කොල කැබැල්ල ගැන මීටරයක් නොතිබිනි.

"අඩෝ චමින්දය, මේ ගෑනිව උඹ දන්නෙ කොහොමද බන්" චාමර ඇසීය.

"මොන ගෑනිද බන්" චමින්දගේ හඩ කුතුහලයෙන් පිරී ඇත.

"මේ උබේ ඉනේ ගහන් හිටපු පොටෝ එක, ඒ ගෑනිව මම හොදට දන්නව බන්, මේ අර වැල්ලවත්තෙ තියෙන රත්නජීව ඇමතියගෙ සෙට් එක කරන බඩු පොට් එකේ ඉන්න ටානියනෙ බන්" චාමර කිසිත් නොසිතා කියාගෙන ගියේය.

"ඔය මගෙ ගෑනි බන්, ඒකි ටානිය නෙමෙයි, සදුනි..." අකුනු සැරක් වැදුනාක් මෙන් වේදනාවක් දැනුනද චමින්ද සන්සුන්ය. සිදුවූ සිදුවීම දෙස රුවන් වික්ශිප්තව බලා සිටී. කුකුල් කේන්ති කාරයෙක් මේ තරම් ඉවසීමකින්... රුවන් කල්පනා කරයි...

"මගෙ සදුනි මට නැති වෙලා ගොඩක් දවස් බන්.... දැන් ඉන්න සදුනිට නෙමෙයි ඒ කාලෙ මගෙ ජීවිතේ හිටපු සදුනි, ඒ කහපාට ඇස්, නෙලුම් මලකට වඩා ලස්සන ඒ මූනු පොඩ්ඩට මම තවත් ආදරෙයි බන්."

මිනිසෙකුට හෝ ගැහැනියකට ජීවිතය දෙන්නේ තවත් මිනිසෙකුගේ සිතය. මිනිසුන් ජීවත් වන්නේ තවත් මිනිසුන්ගේ, එසේත් නොමැති නම් තම ප්‍රේමියන්ගේ හදවත් තුලය. එනම් එකම භෞතිකමය ජීවයක් තුල මරන සහ උපත් කිහිපයක් එකම පුද්ගලයෙකුට ඇති වීම පවත්නා වූ යතාර්තයෙහි නොවැලැක්විය හැක්කක් බව දැන් චමින්ද අවබෝද කරගෙන හමාරය.

චමින්දද තම පෙර ආත්මය මරනයට ලක් කර වර්තමාන පැවැත්ම උදෙසා වූ උපතට ජීවය දී ඇත.  එහෙත් සිය මවගේ ආත්මයේ පරාවර්තනය වූ සදුනිගේ අහින්සකත්වය, සුන්දරත්වය ඔහුගේ අවසන් හුස්ම ගත වන මොහොතේද ඔහුට විරහව මුසු සොදුරු හැගීමක් ගෙන දෙනු ඇත.

නිමි.

දුලී

No comments:

Post a Comment