Powered By Blogger

Friday, September 29, 2017

සටන

සටන 


ලෝකයේ සටන් පිළිබද අසන්නට නොලැබෙන දිනක් අපට කෙදිනක හෝ අසන්නට ලැබී තිබේද. මිනිසා යනු සටන් කාමී සත්වයෙකි. මිනිසාගේ පැවැත්ම රඳා පවතිනුයේ සහ මේ තාක්කල් පැවතුනේ එම සටනට ඔහු ඉතා හොඳින් මුහුණ දුන් නිසාය. මා මෙහිදී මෙම සටන පිළිබද මාගේ ජීවිතයේ ලැබුවාවූ විවිධ ප්‍රත්‍යක්ෂයන් සහ දුටු, කියවීම් ඇසුරින් මෙය ලියමි. බොහෝ දෙනෙකු තම දිවියෙන් මෙන්ම තම සිහින වලින් පැරදෙන්නේ මෙම සටනට මුහුණ දීමට තරම් ආත්ම ශක්තියක් හෝ නිර්භිතකමක් නැති තැනය. සෑම මිනිසෙකුටම තම ජිවිතයෙන් ලොවට සහ තමන්ට ඉටුවිය යුතු යම් යුතුකමක් සමුහයක් ඇති බවට මා තරයේ විශ්වාස කරමි. තවෙකෙකු එය තම ආගමට අනුකුලව දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස අර්තදක්වනු ඇත. කෙසේ හෝ අවසානයේ අප ජිවිතයේ අප සටන් කල යුත්තේ මොනවාටදැයි යන්න මා මේ ලිපියෙන් පහදන්නට උත්සහ කරමි. 

1) අප පළමුව සටන් කල යුත්තේ අපගේ ස්ව සතුට වෙනුවෙනි. ( මෙහිදී අපගේ සතුට වෙනකෙකුගේ සතුටට බාදා නොවන ආකාරයට සාක්ෂාත් කර ගත යුතුය)
2) දෙවනුව අප සටන් කල යුත්තේ අප දෙමව්පියන්, පවුල සහ අප වෙනුවෙන් ජිවිතයේ කැපකිරීම් කල මිනිසුන්ගේ සතුට සාක්ෂාත් කර දීම සඳහාය. 
3) තෙවනුව අප සටන් කල යුත්තේ තම උපන් දේශයේ ජීවත් වන්නා වූ සියලු ආගම්, ජනවර්ග වලට අයත් සියලු මිනිසුන්ගේ සතුට උදෙසාය. 
4) සිව්වනුව අප සටන් කල යුත්තේ ලෝකයේ වෙසෙන්නා වූ සියලු මිනිසාගේ මනුෂ්‍යත්වය, අයිතිවාසිකම්  සහ සතුට වෙනුවෙනි. 
5) පස් වෙනුව අප සටන් කල යුත්තේ ඉදිරියේදී ලෝකය දකින්නට, බිහිවෙන්නට සිටින දරුවන්ට යහපත් සෞඛ්‍ය සම්පන්න ලෝකයක් ඉතිරි කිරීම උදෙසාය. 
6) සය වනුව අප සටන් කල යුත්තේ අප මෙන්ම ලෝකයේ සමතුලිතතාවය පවත්වාගෙන යාමට උදව් දෙන සහ ලෝකයේ සුන්දරත්වයේ කොටසක් වන ගහකොළ සතුන් ගේ පැවැත්ම උදෙසාය. 

අපගේ ජිවත් වීමේ අර්ථය යම් ආගමකට අදාළ පොත් වල විවිධාර්ථයෙන් අර්ථ දක්වා තිබෙන්නට පුළුවන. මා පෙර පැවසු කරුණු සය කෙතරම් සාධාරණද යන්න ඔබගේම හර්දසාක්ෂියෙන් විමසා බැලීමට ඔබට පිවිතුරු වූ නිදහසක් ඇත. මා දැන් ඉහත කරුණු සය තවදුරටත් පහදන්නට උත්සහ ගන්නෙමි.

1) අපගේ ස්ව සතුට (මාගේ) වෙනුවෙන් කරන්නා වූ සටන කුමක්ද?

මේ සටනේ පළමු අදියර අප කරන්නේ ලෝකයට බිහිවීමටත් පෙර සිටය. මව් කුස තුල තම ජීවිතය සුරක්ෂිතව පවත්වාගෙන යාමේ සටන අප නොදැනුවත්ව හෝ ඉටු කරමු. මවගේ යෝනි විවරය තුලින් ලෝකයට පැමිණීමේදී මෙහි දෙවෙනි අදියරද මවගේ සහයෝගයෙන් අප ඉටු කළෙමු. අවසානයේ අද්යාපනයේ සිට මේ තාක්කල් මුහුනද දී ජය ලැබූ සියලු ගැටළු වලින් අප ජය ලැබුවද නොලැබුවද තවමත් අප ජිවතුන් අතර සිටින්නේ අප මේ සටනට සාර්ථකව මුහුණ දී ඇති නිසාය. මින් තව දුරටත් ඉදිරියට ගිය හොත්  අපට පෙනී යාවි අපගේ සතුට වෙනුවෙන් තව බොහෝ සටන් වලට අපට මුහුණ දීමට සිදුවන බව. උදාහරණයක් වෙනුවට, ඔබට පැරිසියට යාමට කුඩා කල සිහිනයක් තිබුනා යයි සිතන්න. ඔබගේ දෙමව්පියන්ට මේ සදහා උදව් කිරීමට ආර්ථික ශක්තියක් නොතිබුනා යයි සිතන්න. ඔබට ඇති එකම විසඳුම වනුයේ ඔබගේ සිහිනය වෙනුවෙන් සටන් කිරීම පමණි. අධ්‍යාපනය, ඔබගේ හැකියාවන් මේ සටනේ අවිය කර ගැනීමට ඔබට පුළුවන. ප්‍රේමය වෙනුවෙන් කරන්නා වූ සටනද මා වර්ගීකරනය කරනුයේ ස්වයන් සතුට වෙනුවෙන් කරන්නා වූ අරගලයක් ලෙසය. ඔබගේ ආදරය අයිතිකරගැනීමට නම් ඔබ එහිදී සටන් කල යුතුමය. තවකෙකුට මෙම සටන ආර්තිකමය, භාෂාමය, නීතිමය හෝ සංස්කෘතිකමය සටනක් දක්වා ඇදී යා හැකිය. කෙසේ හෝ ඔබ එය දිනීමට සටන් කල යුතුය. එතනින් එම සටන නොනවතිනු ඇත.ඇයගේ හෝ ඔහුගේ සතුට, විවාහයේ සාර්ථකත්වය පවත්වා ගැනීමට ඔබ සටන් කල යුතුය. මේ සටනේ ඔබට එන මානසික ප්‍රශ්න, ගැටළු වලට මුහුණ දී ඒවා ජය ගැනීම‍ට නම් ඔබ අනිවාර්යෙන්ම සටන්කාමී විය යුතුය. බියගුල්ලෙකු සේ මේ සටන ඔබ මග හරින්නේ නම් ඔබ අවසානයේ සියදිවි හානි කර ගනු ඇත. නැතහොත් මානසික රෝගියෙකු වනු ඇත. නැතහොත් සියල්ල අත්හල මිනිසෙකු විය යුතුය. ඔබගේ සිරුර තුල ශිෂ්ටාචාරයේ අපගේ ප්‍රාථමික මුතුන් මිත්තන්ගේ සිට පැවත එන සටන් කාමී ජාන තවමත් සැඟවී ඇති බවට මා විශ්වාස කරමි. ප්‍රශ්නයක් පැමිණි විට එම සටන් කාමිත්වය හිතට ගෙන, නියම විරුවෙකු සේ සටන් කරන්න. තව දෙයක් සිතේ තබා ගන්න. මේ සටන සාධාරණ සටනක් විය යුතුය. ඔබගේ සතුට වෙනුවෙන් ඔබ "අහින්සකයෙකුගේ" සතුටට හානියක් කරන්නේ නම් එහිදී ඔබ නියම විරුවෙකුගේ පළමු නිතිය බිද දමා අවසන්ය. නියම විරුවා සැමවිටම නියමා කාර සැලසුමක් සහිතව, නිවැරදි සදාචාරමය ප්‍රතිපත්තියක් සහිතව සටන් කල යුතුය. සටන් කරුවා මිය යා යුත්තේ සතුරා අතින් මිස තම අතින් ගෙල වැල ලා ගෙන නොවන බවද සිතෙහි තබාගන්න. 

2) ඔබගේ දෙමව්පියන්, පව්ල සහ ඔබ වෙනුවෙන් ජිවිතයේ කැප කිරීම් කල මිනිසුන් වෙනුවෙන් කරන්නා වූ සටන.

මා පෙර කියුවා සේ ජිවිතයේ පළමු සටනට අප මුහුණ දෙන්නේ මෙලොවට බිහි වීමටත් පෙර සිටය. එතැන් සිට ඔබ අද ජිවත් වන මොහොත දක්වා ජීවිතය පවත්වා ගැනීමට ඔබට බොහෝ මිනිසුන් උදව් කර ඇතුවාට සැකයක් නොමැත. මේ මිනිසුන් නොමැති නම් අද ඔබ සිටිනා තැන නොසිටින්නට පිළිවන. එබැවින් ඔබගේ ජිවිතයේ අරුත සාක්ෂාත් කර ගැනීමේ සටනේ දෙවෙනි අරගලය කල යුත්තේ ඒ මිනිසුන් වෙනුවෙන්. මේ කුලකයට ඔබගේ දෙමව්පියන්, ගුරුවරුන් , බිරිද , ස්වාමිපුරුෂයා සහ තවත් බොහෝ මිනිසුන් අදාළ විය හැක. 

3) ඔබ උපන් දේශය වෙනුවෙන් කරන්නා වූ සටන

තෙවනුව අප සටන් කලයුත්තේ අප ජිවත් වන දේශයේ සියලු පුරවැසියන්ගේ අභිවුර්ධිය, සමානාත්මතාවය, නිදහස සහ අයිතිවාසිකම් වෙනුවෙනි. මෙහිදී මෙම සටන දේශපාලනිකමය, ආගමිකමය හෝ ජනවාර්ගිකමය සටනක් නොවිය යුතුය. ඔබගේ හර්ද සාක්ෂිය, දැනුම,  "කල යුතු හරිදේ" (Right Thing to do) පිළිබද මානුශිකමය, සාදාරණ, දාර්ශනිකමය, විද්‍යාත්මක කෝණවලින් බලා එලබෙන්නා වූ තීරණ අනුව, සියලු පුරවැසියන්ගේ අභිවුර්දිය උදෙසා මෙම සටන දියත් කල යුතුය. ඔබ දේශපාලකයාගේ, ආගමික නායකයන්ගේ හෝ විවිද අවස්ථාවාදී නායකයන්ගේ අත කොලුවක් නොවිය යුතුය. මේ සටන මෙහෙය විය යුත්තේ ඔබගේ විද්‍යාත්මක දැනුම, සදාචාරමය ප්‍රතිපත්තීන් සමග මිශ්‍ර වුන හර්ද සාක්ෂියමය. ඔබ දැනුමෙන් සන්නද්ද විය යුතුය, දෙවනුව ඔබ රටට දැයට අවැඩක් සිදුවන විට නිශ්ශබ්දව සිටීමේ ප්‍රතිපත්තියෙන් බැහැර විය යුතුය. ඔබට වචනයකින් හෝ සදාරණත්වය පිහිටුවීමේලා දෙයක් කල හැකි නම් ඔබ එය කල යුතුමය. මෙහිදී අවියට පෙර නිර්මාණශිලිත්වය තුලින් ඔබට බොහෝ දෙයක් කල හැකි බව මා විශ්වාස කරමි. 

4)  මානුෂියත්වය උදෙසා කරන්නා වූ සටන

මේ සටනට දේශා සීමා නොමැත, වර්ණයක්, ආගමක් හෝ ජාතියක් නොමැත. ඔබ යම් තැනක, යම් ප්‍රජාවක, යම් ආගමක , යම් ජනවර්ගයක, මිනිසාගේ මුලික අයිතිවාසිකම්, සදාරණත්වය සහ නිදහස උල්ලංගනය වන්නේ නම් ඔබ ඒ උදෙසා හඩක් නැංවිය යුතුමය.ඔබගේ හඬ ඒ තරම් ප්‍රබල නොවේ යයි ඔබට සිතෙනු ඇත. එහෙත් ඔබේ හඬ මෙන් තවත් මිනිසුන් ලක්ෂ ගණනක් එකතු වන තැන, මේ සටනේ ප්‍රතිපල ඔබට දැකීමට පුළුවන් වනු ඇත. ඔබ කවදා හෝ මිය යන දිනෙක මේ සටනේ ඔබ දුන් දායකත්වය ඔබට මතක් වනු ඇත. මිනිසාගේ පරම යුතුකම මිනිසා වෙනුවෙන් සේවය කිරීමය යන කියමනට ඔබ සාධාරණත්වයක් ඉටු කළා යන ජයග්‍රාහී හැඟීම ඔබගේ ආත්මයේ රැව් දෙනු ඇත. මේ සටනේ අවිය ඔබගේ පන් හින්ද විය හැක, නැතහොත් ඔබගේ පින්සල සහ කැන්වසය විය හැක, ඔව් එසේත් නැත්නම් ගිනි අවියක්ද විය හැක. 

5) ඉදිරියේදී ලෝකය දකින්නා වූ මිනිසුන් වෙනුවෙන් කරන්නා වූ සටන 

විද්‍යාත්මක ජයග්‍රහණ, විවිධාකාර නිපැයුම් සහ අධික පරිභෝජනය හේතුකොටගෙන පරිසරයට සිදුවී තිබෙන්නා වූ හානිය සුළු පටු නොවේ. ආර්ථිකමය සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම උදෙසා ව්‍යාපාරිකයන් සහ විවිධ ආණ්ඩු විසින් ගන්නා වූ පරිසරයට හිතකර නොවන සැලසුම්, ප්‍රතිපත්ති වෙනස් කිරීමට ඔබ සටන් කල යුතුය. දරණිය සංවර්දනයේ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ඔබ සටන් කලයුතුය. නැතහොත් ඉදිරියේදී ඔබටද, මටද , අප දරුවන්ටද සතුටින් ජිවත් වීමට, සාරවත් භූමියක් ඉතුරු නොවනු ඇත. 

6) සත්වයන්ගේ සහ ගහකොළ වල පැවත්ම වෙනුවෙන් කරන්නා වූ සටන 

මෙම සටන පස් වන්න හා බැදී පවතී. ගල් යුගයේ සිට මේ දක්වා මිනිසාගේ පැවැත්ම වෙනුවෙන් විවිධාකාර සතුන් ඉටු කළා වූ සේවය සුළුපටු නොවේ. මිනිසාගේ හොඳම මිතුරා වූ සුනකයාගේ සිට ගවයා දක්වා මිනිසා වෙනුවෙන් ඉතා විශාල සේවයක් කර ඇත. සේවාමය වශයෙන් මෙන්ම කුසගින්න නිවීම උදෙසා. එබැවින් මෙම සත්වයන්, ගහකොළ සහ මිනිසාගේ අතර ඇති සමතුලිතතාවය බිද වැටෙන ඕනෑම අවස්තාවක ඔබ එය නැවත නගා සිටුවීමට සටන් කල යුතුය. එම සටන අනාගත මිනිසා වෙනුවෙන් කරන්නා වූ සටනේම කොටසක් වනු ඇත. 


අවසානයේ කිව යුතු වන්නේ දැන හෝ නොදැන අප ජිවත් වන්නේ මේ සටන් සමග බවය, එක්කෝ ඔබ මේ සටනේ ගොදුරක් වනු ඇත. නැතහොත් ඔබ මේ සටනේ සටන් කරන විරුවෙකු වනු ඇත. තීරණය ඔබ අතේය. ජිවිතයේ වඩාත් වටින්නේ අවුරුදු සියයක් බියගුල්ලෙකු සේ ජිවත් වීම නොව ඔබ කෙටි කාලයක් ජිවත් වුවද ඉහත සටන් වලදී ඔබ කෙතරම් සාර්ථක ලෙස සටන් කලේද යන කරුණට සාදරනත්වයක් ඉටු කළා නම් පමණි. ඔබගේ සටනේ සාර්ථකත්වය මත ඔබගේ නාමය ඉතිහාසගතවනු ඇත. 

DuLee

(BA in Politics and International Studies, BSc in Psychology, Intercultural and inter religious dialogue in Germany - Humboldt University Berlin, MSc in Psychology reading) 

Wednesday, July 26, 2017

දේශපාලනය නමැති සංධ්වනිය.

දේශපාලනය නමැති සංධ්වනිය.


කලකට පසු ලිපියක් ලිවීමට සිතුනේ රටේ එක පිට එක එන ගැටළු වලට විසඳුම් දේශපාලන නායකත්වයක් තුලින් කළමනාකරණය කරගැනීමට ඇති නොකියාව දිගින් දිගටම පිලිඹිඹු වීම තුල ඇති වන වේදනාවත් සමගය. මෙහිදී මම මෙය ලියන්නේ දේශපාලන විශාරදයෙකු ලෙස නොව, දේශපාලනය පිලිබඳ යම් ගවේෂණයක යෙදෙන්නා වූ සාමාන්‍ය පුරවැසියෙකු ලෙසය.

ඔබ දැක තිබෙනවාද විවිධකාර සංගීත භාණ්ඩ රැසක් සමග සංගීතය මවන්නා වූ වෘන්දයන් (Orchestra), ලංකාවේ ඒ තරම්ම විශාල සංගීත වෘන්දයන් අඩු වුවද, ඔබ සිනමා පටයක හෝ විශාල වාදකයන් ප්‍රමාණයක් සමග මෝසාර්ට්, බීතෝවන් වෙන්නන්ගේ සංගීතය වාදනය කරන්නා වූ වෘන්දයන් අඩු තරමේ එක වරක් හෝ දැක ඇතුවාට සැක නැත. ඔබ සිතාවි දේශපාලනයේ සහ මෙවැනි ඔකෙස්ට්‍රාවක ඇති සම්බන්දය කුමක්ද කියා. මා සංගීතය ඒ තරම් ගැඹුරින් හදාරා නොතිබුණද මා අධ්‍යයනය කල මෙවැනි වෘන්දයක ඇති නිරවද්‍ය තාවය මා දුටුවේ සාර්ථක දේශයක තිබිය යුතු ලක්ෂණද මේ තුල ගැබ් වී ඇති බවයි.

සංගීතය මෙහෙයවන අධ්‍යක්ෂකවරයා, ඔහුගේ හස්තයන් යොදා ගනිමින් යම් සන්නිවේදනයක යෙදී සිටි. මේ සමගම ආතත, විතත, විත ආතත, ඝන සහ සුෂිර (හින්දුස්තාන් සංගීතයෙ අධ්‍යයනය කල මතකයන් ට අනුව, බටහිර සංගීත වර්ග කිරීමෙදිද, woodwinds, Brass, Percussion, keyboards, Strings වෙනි) වෙනි වෙනස්කම් සහිත විවිධාකාර වූ සංගීත භාණ්ඩ යොදා ගනිමින් ඉතා අනගි සංධ්වනියක් වාදකයන් විසින් මවනු ලබයි. මේ සුන්දර සංගීතය පසුපස තිබෙන්නා වූ රහස් මොනවාද යන්න දැන් විමසා බලමු.

1) විශාල වෙහෙසක් සමග එන පෙර පුහුණුව.
2) සංගීත භාණ්ඩ වල තිබෙන්නා වූ උසස් තත්වය.
3) වාදනය කරන්නාගේ දක්ෂතාවය, ස්වර පිලිපදීමෙදි ඇති දක්ෂතාවය සහ සංගීතය මෙහෙයවන්නාගේ නායකත්වයට අවනත වීම.
4) උත්කෘෂ්ට වූ සංගීත මෙහෙයවීමක්.

ඉහත දක්වා ඇති කරුණු හතරට අමතරව තවත් කරුණු තිබුනද වෘන්දයේ ඇති සාර්ථකත්වය බොහෝ විට මේවා මත පදනම් වනු ඇත.

දැන් අප සංගීතයෙන් බැහැරව දේශය පාලනය කිරිම නමැති ක්‍රියාවලිය මදක් අධ්‍යයනය කරමු. ප්‍රජාතන්ත්‍රවාදයෙන් පාලනය වන රටක පාලනය රඳා පවතින්නේ එම රටේ ජනතාවගේ ඇති දේශපාලනිකමය ශාක්ෂරතාවය සහ ඔව්න්ට තෝරා ගැනීමට ඇති විකල්පයන් සමගය. ලංකාව වෙනි රටක සාමන්න්යයෙන් මේ දෙකම අපට දක්නට ලැබෙන්නේ ඉතාමත් අඩුවෙනි. රටේ ඇති සාර්ථකත්වය පහත සඳහන් ආයතන සහ ක්‍රියාවලි වල ඇති සාර්ථකත්වය සහ පලදායිතාවය සමග බැඳී පවතී. රටේ විධායකයේ දක්ෂතාවය, ක්‍රියාත්මක වන්නා වූ නීති පද්ධතිය, දැක්මක් සහිත නායකත්වයකින් සහිත පාර්ලිමේන්තුවක්, නිර්වධ්‍ය සහ වංචා වලින් තොර පරිපාලන යාන්ත්‍රණය, විනය ගරුක හමුදාව.

මා ඉහත සදහන් කල සංගීත වෘන්දයේ අධ්‍යක්ෂකවරයා/ මෙහෙයවන්නා (Conductor) රටේ විධායකය ලෙස සිතන්න. මා පෙර කියූ අනිකුත් ආයතන සහ ක්‍රියාවලින් වාදය වෘන්දය ලෙස සිතන්න. සංදර්ශනයකදී මෙම වෘන්දය විසින් වාදනය කරන්නා වූ සංගීතය වරදුනහොත් එය හුදෙක්ම නායකයගේම වරදක් විය හැකිද? නැත ඉහත මා දැක්වූ වෘන්දයේ සාර්ථකත්වය පදනම් වන්නා වූ කරුණු හතරෙන් ඕනෑම් එකක් ලුහුඬු වීමෙන් එය සිදුවිය හැක. සංගීතය රස විඳින්නා වූ ජනතාව රටේ පුරවැසියන්ට සමාන කළහොත්, සංගීතය නීරස නම්, හෝ අසා සිටින්නට බැරි නම් එම වෘන්දය ප්‍රතික්ෂේප කල හැක. එහෙත් රටේ ජනතාව, රටේ පාලන යාන්ත්‍රනය හැර යාමට මැලි වන්නේ, එක්කෝ ඔව්න්ට එය සාමාන්‍යකරණය වීම නිසාය. නැතහොත් ඔව්න්ට වෙනත් විකල්පයක් නොමැති නිසාය. සංගීතය රස විදින්නා වූ නරබන්නන් අසන්නන්ට සංගීතයේ නීරස බව හෝ එහි ඇති බාල බව තේරුම් ගැනීමට මිට පෙර විවිධාකාර සන්ධ්වනියන්ට, වෘන්දයන්ට සවන්දී ඔව්න්ට හොඳ නරක තේරුම් ගැනීමට හැකියාවක් තිබිය යුතුය. දේශපාලනයේදීද මෙය මෙසේමය. රටේ ජනතාවට පාලන තන්ත්‍රයේ වැරදි, සහ රට කරවන්නන්ගේ අදක්ෂකම් වැටහීමට ඔව්න් දක්ෂ මිනිසුන් පෙර දැක තිබිය යුතුය. මේ සියල්ලත් සමග දක්ෂයන් සිටි නම් ඔව්න් කුමන සමාජ පන්තියකට අයිති වුවද කුහක නොවී ඔව්න්ට දේශපාලනික ගමනක් යාමට ඉඩ සකසා දියයුතුය. මේ සියල්ල සමග තමාගේ කොටස තමන් හරියාකාරව ඉටු කිරීමට සියලු පුරවැසියන් සිතාගත යුතුය. මා පෙර කිව්වා සේ වෘන්දයේ සිදුවන අත්වරදිමකට සංගීතය මෙහෙයවන්නාටම වැරද්ද පැටවීමෙන් ප්‍රශ්න වලට පිළිතුරු නොලැබෙනු ඇත. සියලු වාදකයන්ගේ පෙර  පුහුණුව , සංගීත භාණ්ඩ වල තත්වය, නායකත්වය සියල්ල බලපානු ඇත. මේ සියල්ලම සමග අසන්නන්ගේ ඇති රසවින්දන බුද්දිය තුලින් වැරැද්ද හඳුනාගැනීමට ඇති හැකියාවද අත්‍යවශ්‍ය වනු ඇත.

සංගීතය මෙයවනන්නා විසින් වෘන්දයේ ශබ්ද වේග, සංගීත භාණ්ඩ වල ධ්වනි හැසිරවීම ඔස්සේ, විවිධා කාර ශබ්ද රාශියක් එකතු කිරීමට අවැසි විනය  තම සන්නිවේදනය සමග මුසු කර සංධ්වනිය මෙහෙයවන්නා සේ නියම දේශපාලකයා, නැතහොත් විධායකය තම සන්නිවේදන කුසලතාවයන්, උපායමාර්ගික කුසලතාවයන් සහ දැක්ම එකට මුසුකර  විවිධාකාර ලක්ෂණ සහිත පාලන යාන්ත්‍රණය නමැති සංධ්වනිය කලාවක් සේ මෙහෙයවීමට තරම් දක්ෂ වියයුතුය.
මේ සඳහා බිහිවිය යුත්තේ ධනවාදී ආර්ථිකය තුලින් බිහිවන මුදල සහ මාධ්‍ය සහ තම දේශපාලක පියාගේ වාසගම පමණක්  නිසා නායකත්වයට පත්වන නායකයන් නොවේ. ආර්ථික වෙළදපල උපායමාර්ගික සැලසුම්කරණය පිලිබඳ සුක්ෂම දැනීමක් ඇති. තම අසන්නන් වන තම පුරවැසියන්ගේ හදවත් හඳුනන එහෙත් ඔව්න්ගේ රසවින්දනය හෙවත් දේශපාලන සාක්ෂරතාවය උසස් කරන්නා වූ නායකයන්ය. විශ්ව විද්‍යාලයේ සිටියදී මාක්ස් වාදීන් වී, පසුව ශුද්ධ ධනවාදීන් වන ඊනියා සමාජ වාදින්ද නොවේ. දේශයේ සියලු සුළු සහ මහ ජන කොටස් වල අයිථීන් හඳුනාගන්නා ඔව්න්ගේ අවශ්‍යතාවයන් තුලින් බිහිවන යම් යම් ආතතීන් ශුබවාදී ලෙස ආර්ථික වුර්ධියක් සදහා යොදා ගන්නා, විදෙස් වෙළද පල හඳුනාගන අප සතුව ඇති රාජ්‍යමය ශක්තින් යොදා එම අවස්ථාවන් පාවිච්චි කරන්නා වූ නායකයන්ය.

නිවැරදි දේශපාලනය තුලින් බිහිවන්නා වූ පරිවර්තනය දක්ෂ වෘන්දයක් විසින් බිහිකරන්නා වූ සන්ධ්වනියකි. ඒ සන්ද්වනියේ ඇති ගුණාත්මක බාවයට අප සියල්ලම වගකිව යුතුය. ඔබද මමද දැනුම හබා යා යුතුය. රතු බලය, නිල බලය, කොළ බලය කියා එන දේශපාලන හස්තයන්ගේ රුකඩ බවට පත්විය යුතු නැත. විශ්ව විද්‍යාලය තුලදී රට වෙනස් කිරීමට අවශ්‍ය පෙර පුහුණුව දැනුම ලබා ගත යුතුය. එසේ වුවද විකල්ප දේශපාලන හස්තයන්ට ගොදුරු වීමෙන් වැළකීමට තරම් බුද්දිමත් විය යුතුය. බුද්දිය යනු රැල්ලක් පසු පස යාම නොවේ රැල්ලෙන් බේරී මුහුදේ ගිලීමෙන් වැලකි විද්‍යාව හා කලාව යොදාගෙන රුවල් නැවක් හෝ සාදා අප රටට අවශ්‍ය ආර්ථිකමය සමාජමය සංවර්ධනය කරා ලං වීමට අවශ්‍ය පසුබිම සැකසීමයි.

දුලිත කසුන්

BA සමාජ විද්‍යා / දේශපාලනය සහ අන්තර්ජාතික අද්‍යයනයන් (අවසන් වසර)
විවෘත විශ්ව විද්‍යාලය.
අන්තර් සංස්කෘතික සහ ආගමික හැදෑරීම් හුම්බෝල්ට් විශ්ව විද්‍යාලය ජර්මනිය.