Powered By Blogger

Thursday, October 20, 2016

මගේ පෙම්වතිය සහ රොබෝ පෙම්වතිය.





ටික කාලයකින් කිසිවක් ලිවීමට වෙලාවක් සොයාගැනීමට නොහැකි විය. වෙලාවක් ආව සැනින් මගේ හිතට අවේ ටික කලකට පෙර මම සහ මගේ පෙර පෙම්වතියක සමග යෙදුනු දෙබසක මතකයකි. පිස්සු දෙබසකි. ඒ පිස්සු දෙබස පිටුපස පොඩි scientific ගතියක් සහ අනාගත සමාජ විද්‍යාත්මක නියෝජනයක් තිබෙන නිසා මෙසේ ලියන්නට සිත් විය. ඔබ මෙය කියවන විට සිතේවි, මෙලෙස සිතන කෙනෙකු සමග කෙල්ලෙක් කෙසේ නම් ජීවත් වන්නද කියා. lol...මෙය ලිවීමේදී සම්ප්‍රදයික ලිවීමේ ක්‍රම වලින් මම බැහැර වෙමි.

දිනක් මගේ පෙම්වතියගේ සිත මදක් ඇවිස්සීමට මට මෙසේ ඇසීමට සිතුනි. මෙය ඇසීමට පෙර මම මේ සංකල්පය දුටුවේ Scientific American වගේ සඟරාවක බවට යම් මතකයක් ඇත.

"නංගි ඔයාට පොඩි දෙයක් කියන්න ඕනේ... හැබැයි හිත අව්ල් කරගන්න එපා...මොකද මම ඔයාට බොරු කියල මේක කරන්න ආස නැහැ....පොරොන්දු වෙන්න හිත අව්ල් කරගන්නේ නැහැ කියල.... "

"hmmm Ok...." ඇයගේ පිළිතුර විය.... මා බලාපොරොත්තු වූ පිලිතුරද එයම විය... කුතුහලයද, කුඩා වේදනාවක්ද සමහර විට ඒ sms එක පිටුපස තිබෙන්නට ඇත.

"නැහැ එක්කෝ ඕනේ නැහැ... මොකටද ඔයාගේ හිත අව්ස්සන්නේ මේක තව ගොඩක් ඉස්සරහට වෙන්න තියෙන දෙයක්නේ ..." මම තව දුරටත් ඇයගේ කුතුහලය ඇවිස්සීමට සිතා එසේ කීවෙමි.

"Please මම තරහයි කිව්වේ නැත්තම්... දැන් ඔයා මාව අව්ස්සල තියෙන්නේ කියන්න කියන්න කියන්න....." ඇයගේ පිළිතුර විය....

මට දැන් මේ විකාරය ඇයගේ ඔලුවට දැමීමට වෙලාව හරි යයි හැඟුනි.

"මගේ යාලුවෙක් ඉගෙන ගන්නවා ජර්මනියේ මියුනික් විශ්ව විද්‍යාලයේ එයා ඉගෙන ගන්නේ කෘතිම බුද්ධිය සහ නියුරෝ විද්‍යාව පිළිබඳව (Artificial Intelligence & Neuroscience). එයා කිව්වා එයාල ලොකු research එකක් කරනවා කියල රොබෝ සහකාරියක් සහ සහකරයෙක් 2025 වෙන කොට වෙළඳ පලට දාන්න. එයා කිව්වා ඒක විවෘත වෙළඳ පලට දාන්න කලින් තවත් පරීක්ෂණයක් කරනවා කියල. ඒ පරීක්ෂණය එක්තරා ආකාරයක පාලක පරීක්ෂණයක් වගේ දෙයක්...ඉතින් එයාල මේ පරීක්ෂණයට ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන කිහිප දෙනෙකුට ඉඩ දෙනවා සහභාගී වෙන්න. එකේදී කරන්නේ, මම ඉදිරිපත් වුනොත් මට සිද්ද වෙනවා මේ රොබෝ සහකාරිය එක්ක මාස 6ක් ජීවත් වෙන්න ඇයගේ සිතුම් පැතුම් සහ මාගේ සිතුම් පැතුම් යම් යම් සමතුලිත තත්වයන්ට පත් වෙන ආකාරය අධ්‍යයනය කරන්න. ඒ වගේම ඇයගේ ශරීරය සකසා තියෙන්නේ දැනට වෙළඳ පලේ තිබෙන Sex Dolls ලට වඩා ගොඩක් විශිෂ්ට ලෙස. ගොඩක්ම මනුෂ්‍ය ශරීරයට සමාන වන විදියට. ඒ වගේම අපිට ඕනේ විදියට Customize කරගන්න පුළුවන් විදියට, උදාහරණයක් විදියට ඔබට අවශ්‍ය සමේ වර්ණය, ඇසේ වර්ණය, කෙස් කළඹේ වර්ණය වෙනස් කරගන්න පුළුවන් විදියට, ඒ වගේම ලිංගික අවයව අපට අවශ්‍ය විදියට අපට අවශ්‍ය ප්‍රමාණයට සකසන්න පුළුවන්. මේ මාස 6දී ඔව්න් අපගේ චර්යාත්මක අධ්‍යයනයක් කරනවා. අපගේ මානසික සහ භෞතික අන්තර් සම්බන්දතාවයන් වගේම, විශ්වාසවන්ත භාවය, ලිංගික ඉර්ශ්යාව වෙනි මානසික අවස්ථාවන් අධ්‍යයනය කරනවා.ඒ වගේම අපගේ රෝමාන්තික චර්යවන්ද අධ්‍යයනය කරනවා. එකම වෙනස වෙන්නේ ඔව්න් අපි වගේ කුසග්නින්න දැනීම පිපාසය දැනීම වෙනි දෙයින් තොරයි. එත් අප වගේම සතුට හඹා යාම, ලිංගික ඉරිසියාව වෙනි දේ දැනෙන විදියට ඔව්න් සකසා තිබෙනවා. මේ පරීක්ෂණය සාර්ථක වුනොත් ඔවුන් වෙළඳ පලට දමාවි එහෙත් මාගේ ආර්ථික තත්වයට අනුව කවදාවත් එවෙනි AI සහකාරියක් ලබාගැනීමට මට හැකියාවක් ලැබෙන එකක් නැති වෙයි. මම ඔයාගෙන් අහන්නේ එක දෙයයි මම ඒ research එකට සහභාගී වෙන්නද ?භාෂාව දියුණු කරගැනීමටත් හොඳයිනේ.... ;-) "

මාගේ මේ දිගු sms එකට ඇයගෙන් ලැබුනේ ඉතා කුඩා එහෙත් බරපතල පිළිතුරකි.

" බුදුසරණයි, මම යනවා. ඔයා එයා එක්කම ඉන්න...."

දැන් මාගේ සිනහව නවත්වා ගැනීමට බැරිතරම් තදය... මගේ පෙම්වතිය මට පැවසුවේ ඔයා "එයා" එක්කම ඉන්න කියාය. එනම් ඇයගේ සිතේ එම පණක් නොමැති රොබෝ වරිය තවත් කාන්තා චරිතයක් නිරුපනය කරයි. මම ඇයට මෙම පිළිතුර යැව්වේ තවත් ඇවිස්සීමට සිතාය.

"hmmmm ඔව් හැමදාම ඉන්න පුලුවන්නම් හොඳයි, රණ්ඩු වෙන එකකුත් නැහැ මගේ විශ්වාසය කඩ කරන එකකුත් නැහැ, වෙන කොල්ලෙක් එක්ක හුටපටයක් ගියොත් එයාව off කරලා reset කරන්න විතරයි තියෙන්නේ. කන්න දෙන්න ඕනෙත් නැහැ. ඔයාල වගේ PRADA , Dolce & Gabbana  වගේ  Brand පස්සෙන් දුවන්නෙත් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. කොහේ හරි යනවනම් අකුලලා bag එකකට pack කරන්නත් පුළුවන්නේ. අනික sex වලදී ඉල්ලන ඕනේ දෙයක් ඉතින්... ;-) ;-) "

දැන් යට නහුතයටම තද වී ඇත...

"ඕන මගුලක් කරගන්නවා මට එපා එක එක රොබෝ කෙල්ලෝ තියන් ඉන්න කොල්ලෙක්... මට ඕනේ හැමදාටම මගේ විතරක් වෙලා ඉන්න කොල්ලෙක්...."

මට දැන් මෙය දාර්ශනික ප්‍රශ්නයක් වන බව හැඟුනි. බලන්න මම මේ කතා කරන්නේ රොබෝ යුවතියක් ගැනය. ඇයගේ ප්‍රාණයක් නොමැත. එහෙත් මාගේ පෙම්වතිය ඇය කෙරෙහි ඉරිසියාවෙන් පසුවෙයි.... මම සෙල්ලම් බඩුවක් අරන් තබාගන්නවා වෙනි දෙයකි මෙය. මම ඇයට තවත් පිළිතුරක් යැව්වෙමි.

"වස්තුවේ ඔයාටත් මම රොබෝ කොල්ලෙක් අරන් දෙන්නම් දැන් හරිනේ .... ;-) ..."

ඇයගේ පිළිතුර,

"ඊයා මට ඕනේ නැහැ යකඩ ගොඩවල් එක්ක ඉන්න......ඔයා ඕන දෙයක් කරගන්න, එත් රොබෝ කෙල්ලෝ එක්ක ඉන්නවනම් මාව අමතක කරන්න...."

මට හොඳටම හිනාහය.

බලන්න කෙල්ලන් කෙල්ලන්මය, කොල්ලන් කොල්ලන්මය... එහෙත් කෙදිනෙක හෝ ලෝකයේ මේ විපර්යාසය සිදුවනු ඇත. එවිට ලෝකයේ විශාල සමාජයීය වෙනස්කම් සිදුවනු ඇත. බොරුවෙන් ආදරය කරන, සල්ලි නිසා ආදරය කරන, ආදරය නිසා රැවටුන මිනිසුන් තම මුලික අවශ්‍යතාවයන් පිරිමසා ගැනීම වස් කෘතීම බුද්ධියේ පිහිට පතනු ඇත. එක්කෝ කෙදිනක හෝ අප කෘතීම බුද්ධියේ වහලුන් බවට පත්වනු ඇත. නැතහොත් කෘතීම බුද්ධිය වහල් භාවයේ වෙනස් ස්වරූපයකින් එනු ඇත. මේ සියල්ල අතර මිනිස් සම්බන්දතාවයන් නව මානයකට යොමු වනු ඇත. මිනිසා හෙම්බත් වී ඇත්තේ මිනිසා නිසාමය. එහෙත් මිනිසාට තනිව ජීවත් වීමේ නොහැකියාව යන සාර්ව කාලීන ගැටලුවේදී කෘතීම බුද්ධිය පිහිටක් වනු ඇත.

මම පෙම්වතියට තවත් sms එකක් යැව්වෙමි,

"පිස්සුද කෙල්ලේ, මම විහිළුවක් කලේ... මට ඕනේ රොබෝ කෙල්ලෙක් නැහැ, ඔයාව පොඩ්ඩක් අව්ස්සන්නයි එහෙම කිව්වේ...."

ඇයගේ පිළිතුර වුයේ,

"මෝඩයා..........................////////"

සමාප්තයි.

Saturday, September 3, 2016

කුහකකම, ආකල්ප සහ මධ්‍යම පාන්තික බුද්ධිමතා





අප මිනිසුන්ව  කෙතරම් වෙනස් කිරීමට සැදුවත්, ලාංකිකයන්ගේ ඇති පොදු කුහක ගති කෙතරම් වෙනස් කිරීමට සැදුවත්,එය ඉතා අපහසු දෙයකි ඔබගේ හොඳ 99ක් තිබියදී ඔබගේ නරක 1 ඔව්න්ගේ ඕපාදුප වලට භාජනය වනු ඇත. ඔබ කෙතරම් ඉගෙන ගෙන රටට සේවයක් කර පවතින ක්‍රමයන් වෙනස් කිරීමට සැදුවත් එය මේ ක්‍රමය හා ආකල්ප තුල සිදුකිරීමට ඉතාමත් අපහසු දෙයකි. නොදැනුවත්වම ඔබද මාද ක්‍රමයට හුරුවනු ඇත. ඔබගේ අධ්‍යාපනය හෝ බුද්ධි මට්ටම, ඔබගේ රසවින්දනය හෝ ඔබගේ දේශප්‍රේමය, ඔබව බලය කරා රැගෙන නොයනු ඇත. හේතුව වන්නේ, ඔබද මමද කෝටිපතියෙකුගේ හෝ දේශපාලඥයකුගේ පුතෙකු හෝ දුවෙකු නොවීම සහ කළු සල්ලි සුදු කර දේශපාලනය කිරීමේ කලාව නොදත් බැවිනි. සාමාන්‍ය පව්ලක සිටින ඔබද මමද දේශය වෙනස් කිරීමට අවශ්‍ය බලය කරා යාමට අපේම මිනිසුන්ගේ කුහකකම හරස්වනු ඇත. ඒ අප ඔව්න්ගේ කෙනෙකු නොවන නිසා නොව, ඔව්න්ගේම කෙනෙකු ලෙස සැදී වැඩි ඔව්න්ටම හොඳ ජීවිතයක් ලබාදීමට උත්සහ කිරීම ඔව්න්ගේම ජානගත වූ ලාංකීය කුහකකම තුලින් ඔව්න්ගේම හර්දශාක්ශීය පාලනය කරන බැවිනි. ඔව්න්ගේ සිත තවදුරටත් ඇදී යනු ඇත්තේ 1948 සිට ලාංකීය දේශපාලනය එකතැන පල් කල "වාසගම්" ඇති දේශපාලුවන්ගේ මිෂනාරි අධ්‍යාපනයෙන් පොෂ් මානසිකතත්වයක් ඇති කර ස්වයං බ්‍රිතාන්‍ය කොලනි මානසික තත්වයක් තුලින් සැදී වැඩී Oxford , Cambridge ගිය ජීවිතේ කිසිම දිනයක ගමක සුවය නොවිඳි, ලාංකීය මිනිසුන්ගේ හදවත නොහඳුනන, වලඳක පරිප්පු හොද්දක් එක්ක කරවල කැල්ලක් එක්ක බත් කටක් කාපු නැති, ගොඩ සුද්දෙකුටය. ඔහුගේ මුදල්, ධනවාදයේ සහ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මාධ්‍යය ඔස්සේ ඔබගේ මොළ සේදිම තුලින්ද, මිනිසුන්ගේ මුග්ධ දේශපාලන තීරණ තුලින්ද ඔහුව නැවතත් බලය කරා යවනු ඇත. ඔහු ඔබගේ චන්ද වලින් බලයට පැමිණ ඔහුගේ කෝටි ගණනක් වටිනා නිවාසයේ ඔබගේ කාමරයේ ජනේලයකට වඩා විශාල රුපවහිනියකින්, විස්කි බිබී රගර් මැච් බලනු ඇත. ඔබගේ කුහක කම සහ ධනවාදයේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයද, දේශපාලනය විසින් මාධ්‍ය ගණිකා වුර්තියේ යෙදවීම නිසාද මේ ක්‍රමය තව දුරටත් වැජබෙනු ඇත. මෙය දරාගත නොහැකි බුද්දිමතුන් රට හැරයනු ඇත. හොඳින් බලන්න බුද්දි ගලනය වැඩි පුරම සිදුවී ඇත්තේ කෝටිපති පවුල් වල බුද්ධිමත් දරුවන් තුලින් නොවේ. සාමාන්‍ය පව්ලක සැදී වැඩි අමාරුවෙන් උසස් පෙළ කර උසස් අධ්‍යාපනයක් ලද පවුල් වල තරුණයන් විසිනි. ඔව්න් අසාධාරණ නැත. ඔව්න් මහන්සි වූ තරමට දෙයක් රටෙන් ගමෙන් ඔවුන්ට නොලැබෙන තැන ඔවුන් ඔස්ට්‍රලියාවට, කැනඩාවට යනු ඇත. ඒ ලංකාවට ආදරය නැති කමින් නොවේ. නීතියක් හරිහැටි නොමැති, ඔවුන්ගේ දරුවන්ට ශුබවදී අනාගතයක් නොපෙනෙන, තව සියවසකටවත් ආර්ථිකමය සන්වර්දනයක් නොපෙනෙන රටක ඔවුන් හෙම්බත් වී ඇති බැවිනි. මේ සියල්ලත් සමග ශ්‍රී ලාංකිකයන්ගේ ජානගත වූ කුහක ආකල්ප වල, මුග්ධ ආකල්පවල ගොදුරක් වීමට ඔව්න් අකමැති බැවිනි.


කලයුත්තේ කුමක්ද,

අප මිනිසුන්ට උදව් කලයුතු වෙමු. ඒ උදව්ව කලයුත්තේ බුද්ධිමය සංවර්ධනය ලඟා කරගැනීම උදෙසාය, හුදෙක්ම මාධ්‍ය විසින් ඒ කර්තව්‍යය නොකරන තාක්, එය ඔබ විසින්ද මා විසින්ද කල යුතුව ඇත. බුද්දිමය සංවර්ධනය ඔබද මමද ලබා ගත යුතුමය. කියවීම, ජාත්‍යන්තර දැනුම සහ ඉතිහාසය තුලින් ලෝකය තුල දේශයක් ලෙස අප රග දක්වන චරිතය හොඳින් තේරුම් ගත යුතුය. මේ චරිතයේදී යුද්දය ගැන පමණක් පවසන මිනිසුන් අප වීරයෙකුගේ චරිතය රඟ දක්වන බව පවසනු ඇත. ආකල්ප ලෙස හා කුහකකම දෙස බලද්දී අප තම සහෝදරයාට සෙල්ලම් බඩුවක් අරන් දුන් විට සිතෙන් ඔහුට ඉරිසියා කරන කුඩා දරුවෙකුගේ චරිතය නිරුපනය කරනු ඇත. ආර්ථිකය දෙස විචාර බුද්දියෙන් බලන කෙනෙකු අප විකටයාගේ ජවනිකාව රඟ දක්වන බව පවසනු ඇත. ලංකාවේ විද්‍යාත්මක දැනුම නිර්මාණය නොකර, විද්‍යාත්මක, තාක්ෂණික වෙළඳ පලක් බිහි නොකර Volksvagan කම්හලෙන් ගොඩයාමට සිහින දකින හන්දියේ කඩේ ප්ලේන් ටී එකක් බිබී ප්‍රේමදාස මහත්තයාගේ හෝ බණ්ඩාරනායක මහත්තයාගේ කෙරුවාව ගැන පුරසාරම් දොඩමින් තවමත් ඔව්න් නිසා චන්දය දෙන ගමේ මාටින් මාමා උදේ සිට හවස් වනතුරු කියවන දිනමිණ හෝ ලංකාදීපයේ ප්‍රවුර්ති තුලින් තවමත් දේශපාලනික තීරණ ගනු ඇත. ගමේ පාසලේ සිට විශ්ව විද්‍යාලයට ගිය සහෝදරයන් ඔව්න්ගේ ඉහල සහෝදරයන්ගේ ඊනියා සමාජවාදයේ ගොදුරු බවට පත්වී තාරුණ්‍යය තවත් එක අන්තගමීත්වයක් කරා රැගෙන යනු ඇත. (සියල්ල නොවේ , අවැසි තැන අරගල සිදුවිය යුතුය).

අප වෙනස් විය යුතුය. සාමාන්‍ය පවුල් වල උපත ලබා, උසස් අධ්‍යාපනයක් ලබන තරුණ පරපුර, මරා ගත යුත්තේ Private , Government Campus ප්‍රශ්නය විසඳීමට පෙර ලංකාවේ ක්‍රමය, ආර්ථිකය සහ කුහකකම නැතිකිරීමේ අරගලය වෙනුවෙන්ය. ජර්මනිය වෙනි රවටල අධ්‍යාපනය වෙනත් රටවල සිසුන්ට පවා ලබාදෙන මට්ටමකට ඔව්න් පැමිණියේ, මේ ආර්ථිකයේ, ආකල්ප වල සහ ඔව්න්ගේ කැපවීමේ ප්‍රතිපලයක් ලෙසය. ක්‍රමය වෙනස් කිරීමට බුද්දිමතුන් සැබෑ බුද්දිමතුන් ලෙස සිතීමට පුරුදු විය යුතුය. නැතහොත් ඔවුන් රතු , කොළ, නිල් අතකොලු වනු ඇත. සියල්ලන්ම තම හදවතින් හරි දේ සහ වැරදි දේ තෝරා බේරාගත යුතුය. දෙවනුව මේ සාමාන්‍ය පවුල් වල බුද්ධිමතුන් තුලින් නායකත්වය බිහිවිය යුතුය. ඒ නායකත්වය විසින් බ්‍රිතාන්‍ය කොලනි යුගයෙන් පසු බිහිකළ තුන්වෙනි පරපුරේ මා පෙර පැවසු "වාසගම්" සහිත ගමක් රටක් නොහඳුනන ඊනියා නායකයන්ව, නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙසම මුලිනුපුටා දැමීමට තරම් ආකර්ශනීය විය යුතුය. පවතින ධනවාදී ක්‍රමය තුල කළු සල්ලි හෝ ව්‍යාපාරිකයන්ගේ මුදල් උල්පත් වලින් තොරව බලය ලබා ගැනීමට අපහසු තාවයන් ඇතත්, ඔබ නිර්මාණශීලී නම් සහ ඔබ නව්‍යකරණය වූ බුද්ධියක් තුලින් මේ අරගලය කරන්නේ නම් මෙය කෙදිනෙක හෝ යථාර්තයක් වනු ඇත. මේ සඳහා යොදාගත යුතු එකම අවිය විය යුත්තේ ඔබගේ බුද්ධියය. අත් හැරිය යුත්තේ කුහකකමය.

DuLee

Wednesday, June 15, 2016

පළමු පෙම වෙත විද්‍යුත් ලිපියක්....





ආදරණීය සම්සාරා, 

මුලින්ම ඔයාට කියන්න ඕනේ, මම මේ කරන්නේ ඔයාට කරදරයක් නම් මට සමාවෙන්න. මාගේ මිතුරු ලක්ෂ්මන් ඔයාට ඊයේ දින මුණගැසුන බව ඔහු විසින් පැවසු පසු මාගේ ඇතුලාන්තයේ යම් තිගැස්සීමක් ඇති වීමෙන් පසු මෙය ලිවීමට සිතුනි. අපිට දැන් අවරුදු 27ත් වී හමාරය. ජීවිතේ බොහෝ දුරට සංකීර්ණ වී ඇති සෙයකි. හැම දේම වෙනස් වී ඇති සෙයකි. සමහර දේවල් වලින් ඉදිරියට යද්දී සමහර දේවල් යථාර්තය විසින් අපට අහිමි කර ඇත. රැකියාව, අධ්‍යාපනය, පව්ලක් වීම වෙනි සමාජ සම්මතයන් නිසා අපගේ සමහර සිහින වලට නැවතීමේ තිත තිබීමට සිදුවනු ඇත. ඔබ මෙන්ම මාගේ මිතුරන්ද බොහෝ දුරට වෙනස් වී ඇත. එහෙත් වාසනාවකට මෙන් ලක්ෂ්මන් මාත් සමග තවමත් රස්තියාදුවේ යෙදී සිටි. අප දැන් ලංකාවේ සැම තැනම රස්තියාදු ගසමු. මෙතෙක් ලංකාවේ කිසිම කෙනෙකු නොගිය තරම් අප රස්තියාදු ගසමු. මේ අතර විවිදාකාර මිනිසුන් සමග අපි අදහස් හුවමාරු කරගනිමු. දෙමල, මුස්ලිම්, වැදි මේ සියලුම ජාතියේ මිනිසුන් සමග අපි රස්තියාදු ගසමු. රැකියාවෙන් යම් මුදලක් ලැබේ නම් ඒ මුදලින් වැඩි ප්‍රතිශතයක් වෙන් වන්නේ මෝටර් සයිකලයේ ලංකාව වටේ රස්තියාදු ගැසීමටය. මේ යන බොහෝ ගමන් වලදී මට ඔබව මතක් වන්නේ මගේ ජීවිතයේ වැඩිම කාලයක් මා ආදරය කල සහ සැබවින්ම ආදරය කල සහ බොහෝ සුන්දර තැන් වල ආදරය කල එකම යුවතිය ඔබ වන හෙයිනි. මමයි ලක්ෂ්මනුයි තවමත් එසේ රස්තියාදු ගසද්දී මගේ එකල අනෙක් හොඳම මිතුරන් වූ, ප්‍රසිත දැන් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා එහි සිටී. නුවන්ද එහි සිට සිවිල් ඉංජිනේරු විද්‍යාව අවසන් වසර සිසුවෙකු ලෙස අද්‍යාපනය ලබයි. දහම් නැවක කපිතාන් කෙනෙකු වීමට බොහෝ ආසන්නව සිටි. මාගේ මවගේ අසනීප තත්වය නිසා මට මගේ ගමනේ වේගය අඩාල කිරීමට සිදුවීම හුදෙක්ම අවාසනාවක් ලෙස මම නොසිතමි. පව්ලේ එකම දරුවා නිසා සියල්ල මගේ කරමත තිබීම ගැටළුවක් ලෙස මම නොසිතමි. බොහෝ ඉගෙනගත් මිනිසුන්, සල්ලිකාරයන් දෙමව්පියන් අමතක කර වෙන රටවල් වල ගොස් මළගෙදරට පමණක් එද්දී, ඔව්න්ගේ හර්දසාක්ෂිය පසු කලෙක වින්දවනු ඇත. මම මාගේ හර්ද සාක්ෂියේ වහලෙකු වීමට අකමැති බැවින් මේ ජීවිතය මම පිලිගනිමි.

 පෘතුග්ජන මිනිසුන් සැප විඳීමට, මුදල් පසුපස යාමට කැමතිය. එය සාමාන්‍ය දෙයකි. මුදල් ලැබුනත් අප ජීවත් වන රාජ්‍යයේ අපට අවශ්‍ය ජීවත් වීමේ තත්වයන් හෝ නිදහස සම්පුර්ණයෙන් නොමැති නම් ඔව්න් වෙනත් රටවලට යාමට පෙළඹෙනු ඇත. එය ඔව්න්ගේ වැරද්දක් නොවේ. මිනිසුන්ට රටක් අවරුදු ගානක් 1948 සිට මේ දක්වා තිබු කසඩ දේශපාලනය කෙටිකලෙකින් වෙනස් කිරීමට නොහැකිය. ඔව්න්ගේ එකම විකල්පය වනුයේ රට හැරයාමය. මාහට අහිංසක සිහිනයක් ඇත. එනම් මා මිය යන්ට පෙර ලංකාව පළමු ලෝකයේ රටක් වනු දැකීමය. එවිට ලංකාවේ මිනිසුන් නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය හදාරා වෙනත් රාජ්‍ය වලට සේවය කිරීමට නොයනු ඇත. ලංකාවේ ගැහැනුන් මැද පෙරදිග ගොස් අසාධාරණයට ලක් නොවනු ඇත. ඔව්න්ගේ දරුවන් කුඩු කාරයන් ගණිකාවන් නොවනු ඇත. 

ගුවන් නියමුවෙකු වීමේ සිහිනයට කුමක් වුයේ දැයි ඔබ සිතනු ඇත. සම්සාරා, යථාර්තය අපගේ සමහර සිහින අපෙන් උදුරා ගන්නා බව කලින් කීවා වගේ මතකය. පරිගණක ඉංජිනේරු විද්‍යාව පිලිබඳ උපාදියක දෙවන අව්රුද්ද වෙන තුරු අර්ධ වශයෙන් හැදෑරු පසු හදිස්සියේ දුටු පත්තර දැන්වීමකට අනුව විවෘත විශ්ව විද්‍යාලයේ දේශපාලනය සහ අන්තර්ජාතික සම්බන්දතා පිලිබඳ උපාදියක් කිරීමට මාහට සිත්විය. ඇත්ත වශයෙන්ම මාගේ රැකියාවටවත් වෙනත් ප්‍රධාන පන්තියේ රැකියාවක නිරත වීමටවත් මින් මා සුදුසු කම් නොලබනු ඇත. එකම දේ උපාදිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරීම නිසා බාසාව දියුණු වීම පමණි. එහෙත් මෙහිදී මම ඉතා කැමැත්තෙන් මෙය හදාරමි. දර්ශනය සමාජ විද්‍යාත්මක ගවේෂණ මෙහි කොඳු නාරටිය වන බැවිනි. මාගේ රස්තියාදු ජීවිතය මට ලංකාවේ සමාජයේ ප්‍රයෝගික ප්‍රවේශය වුවමනාවටත් වඩා ලබා දී ඇති බැවින් අමතර ගවේෂණයක් අවශ්‍ය නොවේ යයි විටෙක සිතේ. තවද ජර්මන් බාසාවද හදාරමි. විශේෂයෙන්ම කාල් මාර්ක්ස්, සිග්මන් ප්‍රොයිඩ්, මැක්ස් වෙබර් වෙනි විද්වතුන් දාර්ශනිකයන් ගේ නිජබිමද වන ජර්මනිය, දේශපාලනිකමය වශයෙන්ද ලෝකයේ හැරවුම් ලක්ෂයක් වනු ඇත. බොහෝ දාර්ශනිකයන්ගේ විද්වතුන්ගේ පොත පත ලියවී ඇත්තේ ජර්මානු බාසාවෙන් බැවින් මෙය ඉගෙන ගැනීමට මාහට විශාල ආශාවක් තිබුණි. අනාගතයේ මම මොකෙක් වේ දැයි මම නොදනිමි. එහෙත් මාගේ අරමුණ කෙසේ හෝ ඉටු කරගැනීමට විශාල ආසාවක් ඇත. ලංකාවේ ආර්ථිකය , අධ්‍යාපනය, සමාජය, පුරවැසි ජීවන තත්වය, කලාව, තාක්ෂනය මේ සෑම දෙයක්ම පළමු ලෝකයේ රටක් මට්ටමට ගෙන ඒමට. මම සමාජ වාදියෙකු නොවෙමි. එහෙත් සර්ව ලිබරල් වදියෙකුද නොවෙමි. මේ දෙකේම අතර යම් තැනක මා පසු වන බව මට සිතේ. මේ දෙය කල එකම එක නායකයෙකු මම දැක ඇත. සිංගප්පුරුවේ ලී කුවාන් යු මහතා. මම ඔහුගේ නායකත්ව ලක්ෂණ සහ දර්ශනය යම් ප්‍රමාණයකට විශ්වාස කරමි. මේ අතර චේ ගුවේරා වන්නන්ගේ අව්‍යාජ මානුෂිකත්වය තුලින් අභිප්‍රේරණය වූ නායකත්වය.

මේ සියල්ල පිළිබඳව පවසද්දී මම ලොකු සීන් දානවා යයි ඔබට සිතෙනු ඇත. නැත මාගේ කිසිම ලොකු සීන් එකක් නැත. මා මුදල් ඉතිරි කරන්නෙකු නොවේ. මාහට තවම ඇත්තේ ඔබව දිනක පසුපස තබාගෙන රත්මලානේ ගුවන් තොටුපල ආසන්නයේ ධාවනය කල මෝටර්සයිකලය පමණි. ජීවිතය සංකීර්ණ වද්දී මගේ සිත සරල බව දෙසටම ඇදී යනු මට දැනේ. දැන් ඔබට තවත් ප්‍රශ්නයක් මතු වනු ඇත. මාහට කෙල්ලෙක් ඇතිද නැතිද යන්න වග. ජීවිතයේ මා දුටු අමාරුම දෙය මේ "ආත්ම සහකාරිය " සොයාගැනීම බව දැන් මට සිතේ. ජීවිතයේ උවමනා තරම් කෙල්ලන් හමු වී ඇත. ආශ්‍රය කර ඇත. දිනපතා හමුවනු ඇත. එහෙත් ඒ එකඳු කෙල්ලෙකුගේන්වත් මාගේ "ආත්ම සහකාරිය " වීමට අවශ්‍ය සුදුසුකම් මම නොදකී. මව් පියන් විසින් උවමනා තරම් යෝජනා ගෙන එයි. එහෙත් ඒ එකඳු කෙල්ලකගේන්වත් මම මාගේ "ආත්ම සහකාරිය" නොදකී. මේ සෑම කෙල්ලෙකුම හඹා යන්නේ එකම දේවල් කිහිපයකි. Posh වීම, Smart phone එකක් තුල ජීවත් වීම, අන් අයට තමන් සුපිරි කාරයක යන බව selfie ගසා පෙන්වීම, සමාජ ජාලා අඩවි තුලින් විවිදාකාර මිනිසුන් සමග  සුරතල් වීම.මේ එකදු ජීවිතයකවත් මා දකින "ආත්ම සහකාරිය" නොසිටිනු ඇත. මා ජීවිතයේ දැකපු එකම ආත්ම සහකාරිය ඔබම පමණි.  ඔව්න් එසේ වෙද්දී ඔබ බදාගෙන සිටියේ කැන්වසයක් සහ පින්සලකි. ඔබ කෙතරම් සුන්දරද, ඊටත් වඩා ඔබගේ නිර්මාණශීලීත්වය කෙතරම් සුන්දරද, ඔබගෙන් දුටු කලාකාරිය මම තවමත් කිසිවෙකුගෙන් දැක නැත. ඔබගේ සිහින් කට හඬ. මේ සියල්ල එකතුව දෙවියන් විසින් මවා ඇත්තේ පරිපුර්ණ නිර්මාණයකි. පරිපුර්ණ වූ කලා කෘතියකි. ඒ කලා කෘතිය මාගේ කරගැනීමට තරම් මා වාසනාවන්ත නොවුවද, මාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය ඒ කලා කෘතිය බව ඔබද මාද හොඳින්ම දනී. වර්තමාන පෙම්වතුන් හෝටල් රූම් සංස්කෘතිය තුල අතරමන් වෙද්දී අප දෙදෙනා අතරමන් වුයේ මධ්‍යම කඳුකරයේ සුන්දරත්වය තුලය. සංචාරය තුලය. මාහට ආඩම්බරකමක් දැනෙනුයේ වර්තමානයේ බොහෝ පෙම්වතුන් නොවිඳිනා වූ සුන්දරත්වයක් අප වින්දා යයි සිතෙන විටය. 

අවසානයේ යම් තැනක අපට වැරදුනි. එකල මනසට නොතේරන බොහෝ දේ දැන් තේරෙන්න ගෙන ඇත. ඔබට මම පරුෂ වෙද්දී, ඔබ මට "තමුසේ" කියාවත් ආමන්ත්‍රණය කර නොමැත. ජීවිතයේ කිසි දිනෙක ඔබ තරම් ඉවසන යුවතියක මම දැක නැත. ඔබට මෙවර උපන්දිනයට සුබ පැතීමට මට නොහැකි විය. මාගේ දුරකතනයේ සිදුවූ දෝෂයක් නිසා ඔබගේ නම්බරය මැකී ඇත. දිනක් මම ඔබගේ පියා සමග කතා කලෙමි. ඔහුට මා ගැන මතකයක් නොමැත. මම ඔබගේ පියා සමග ඔබගේ අත්තම්මා ගේ අවමගුල් ගෙදරදී කතා කල දින පටන් ඔහු මගේ සිතේ වීරයෙකු විය. ඔහු එදා මට දේශපාලනය, සමාජය, ලේඛනය ගැන කියූ බොහෝ දේ තවමත් මතකය. ඔහු ඒ සැම දේම පැවසුයේ මම ඔබගේ පෙම්වතා යයි නොදැනය. ඔහු මට හමු වුයේ එක දිනක් පමණක් වුවද ඔහු මට සැබෑම ගුරුවරයෙකු විය. 

මෙම ලිපියේ අරමුණ ඔබට තවමත් පැහැදිලි නැතුව ඇතුවාට සැකයක් නොමැත. ඔබ නැවතත් මගේ පෙම්වතිය නොවනු ඇත. ඔබගේ ජීවිතයට ප්‍රශ්නයක් වීමට මට අවැසි නැත. එහෙත්, ඔබ මාගේ ජීවිතයේ ඉදිරි ගමනට අවැසිය. පෙම්වතිය ලෙස හෝ බිරිඳ ලෙස නොවේ. "ආත්ම සහකාරිය" යනු පෙම්වතියම වීම අවශ්‍ය නොවනු ඇත. එහෙත් මාගේ මිතුරියක ලෙස. සමාජය උදෙසා මිනිසුන් උදෙසා මිනිසුන් උදෙසා යන ගමනේ සහකාරියක ලෙස, වැටීම්, නැගිටීම් හමුවේ මිතුරියක ලෙස. මේ සඳහා තනිව ගමන් කිරීම මට යම් අසීරුතවයකින් යුක්තවන අතර , නුසුදුසු පුද්ගලයන් හා මාව තේරුම් නොගන්නා පුද්ගලයන් සමග මුහු වීම ඊටත් වඩා අමාරු කරුණකි. ඔබ කැමතිනම් මට පිළිතුරු ලිපියක් එවනු මැනවි. 

ඔබට සුබ අනාගතයක් 

දුලිත 


(මෙය මා ඇයට සැබවින්ම යැවූ ලිපියක් වුවද නාමය වෙනස් කර සහ ඇයගේ පව්ද්ගලිකත්වයට ගැටළුවක් වන දෑ ඉවත් කර ඇත )

Monday, May 30, 2016

සිහින, සම්මුතීන් සහ යථාර්තය

සිහින, සම්මුතීන් සහ යථාර්තය 



කලකට පසු ලිපියක් ලිවීමට සිතුනේ, කාලයක සිට මාගේ සිත සමග මමම එළඹ සිටි ද්වන්ද සංග්‍රාමයේ ප්‍රතිපලයක් ලෙසිනි. එම සංග්‍රාමයේ ජයග්‍රහණය හෝ පරාජය තීරණය කිරීමට තවමත් කාලය මදි යයි සිතේ. අද විශේෂ දිනයක් වනුයේ මා අද මාගේ 27 වන උපන්දිනය සමරන බැවිනි. සැබවින්ම අද දින මාහට ඇත්තේ සතුටක්ද දුකක්ද යන්න මේ ලිපියේ අවසනයයේ ඔබට සිතාගත හැකිවනු ඇත. අද දින වන විට මා කෙතරම් දුරට සාර්ථක වී ඇත්ද, මාගේ සිහින කරා මා හඹා ගොස් ඇත්ද, ඒවා ජයගෙන ඇත්ද එසේත් නැතිනම්, සමාජ සම්මුතීන් සහ යථාර්තය හමුවේ මා දන ගසා ඇත්ද, මා පැරදී ඇත්ද... මේ මාගේ සිත සහ හදවත එක්ව මාගෙන් අසන අසන ප්‍රශ්න කිහිපයකි. 

මොනවද මේ සිහින,

අපගේ ජීවිතයේ අප නොයෙකුත් දේවල් ලබා ගැනීමට හෝ ඉටුකර ගැනීමට සිහින දකිමු. කිසියම් වූ අභිප්රෙරනාත්මක සාධකයක් මේ සෑම සිහිනයක් පසු පසම ඇත. සමහරක් විට කිසියම් වූ දෙයකට ඇති නොනිමි ආශාවක්, ඔබව මෙහෙයවනු ඇත. එහෙත් මේ සිහින හඹා යාමේදී අපට තීරණාත්මක වන සාධක කිහිපයක්  බලපානු ඇත.  අප ජීවත් වන පරිසරය, ආශ්‍රය කරන මිතුරන්, දෙමව්පියන්, ගුරුවරු, ආදරය කරන අය, ආර්ථිකමය පසුබිම සහ අධ්‍යාපනික පසුබිම (සමහරක් අයට සෞක්යමය සාධක තිබිය හැක ) රටේ දේශපාලනමය ස්ථාවරත්වය වෙනි දෑ අපගේ මේ සිහින කරා හඹා යන ගමනේදී දැඩිව බලපානු ඇත. අපගෙන් අප 5 වසර ශිෂ්‍යත්වය ලියද්දි කිසිවෙකු ඇසුවොත් "පුතේ ඔබ මොනවගේ කෙනෙක් වෙන්නද  ඉන්නේ කියා" ඔබ වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවෙකු හෝ වෙනත් ඔබ ආසා කරන වුර්තියක් ඔබ පවසනු ඇත. ඔබ සාමාන්‍ය පෙළ ලියද්දි කෙනෙකු ඔබෙන් ඇසුවොත් ඔබ මොනවගේ වුර්තිකයෙකු වීමට සිහින දකින්නේ දැයි කියා කලින් වෛද්‍ය වරයෙකු වන්ට ආසා යයි කියූ පිරිසෙන් බොහෝ සුළුතරයක් පමණක් එම පිලිතුරම දෙනු ඇත. ඔබ උසස් පෙළ පළමුවර දෙවන වර ලියද්දි තවත් මේ ප්‍රතිශතය අඩුවනු ඇත. එහෙත් අවසානයේ ඔබට කිසියම් වූ රැකියාවක් හමු වනු ඇත. එහෙත් ඒ රැකියාවට ඔබ පැමිණියේ ඔබගේ සිහිනයට ඔබ අකමැති නිසාම නොවේ. සමහරවිට ඔබ ඒ රැකියාවට අවශ්‍ය සුදුසුකම් සපුරා නැති නිසාය. සමහර විට සුදුසුකම් ඇතත් මුදල් නොමතිකමින්ය. නැතහොත් සමාජ සමුතීන් සහ කාලය, යථාර්තය විසින් ඔබව පසුපසට අදින නිසාය. මාගේ ලිපියේ දෙවන භාගයට දැන් පැමිණෙමි.

මෙතනින් පසුව මදක් මම මාගේ පව්ද්ගලික ජීවිතයෙන් උදාහරණ කිහිපයක් ගැනීමට පසුබට නොවෙමි. 

මාගේ ජීවිතයේ පළමු සිහිනය වුයේ තාරකා විද්‍යාව පිලිබඳ විද්වතෙකු වීමටයි. ඒ මට අවරුදු 10 දී පමණය. එයට පාදක වුයේ මා පාසල් ගිය van රථයේ මා අසලින් සිටි එවකට සාමාන්‍ය පෙළ කල මාගේ ප්‍රදේශයේ සිටි රත්නාවලී බාලිකාවට ගිය අක්කා කෙනෙකු නිසාය. ඇය නිතරම ඇයගේ නෑදෑයකු වන තාරකා විද්වතෙකු ( Astronomy Scientist ) වන දැනට ඇමෙරිකාවේ මහාචාර්ය කෙනෙකු සහ Pennsylvania University හි ආචාර්ය උපාධි දාරියෙකු වන Prf Thulsi Wikramasingha (Phd in Theoratical Cosmology & Gravitation) අයියා ගැන නිතරම මා හා පැවසීමයි. ඔහු එකල මාගේ වීරයා විය. විශ්වය, අහස , විද්‍යාව මේ දේවල් වලට ආසා කරන්නට පෙළඹුනේ එකලය. මේ විද්‍යාවට තිබු ආසාව නිසාම විදුසර පත්තරය මාගේ ප්‍රියතම පුවත්පත විය.මම 8වසර 9වසර වනවිට තදින්ම Prf නලින් ද සිල්වා ගේ "අපේ ප්‍රවාද" තීරය කියවීමට ඇබ්බැහි වී තිබුණි. තවද එක දිනක් ලාංකීය භාව්තික විද්‍යාව පිළිබඳව  මහාචාර්ය වරයෙකු හා වාමාංශික දේශපාලනය පිලිබඳ ක්‍රියා ධරයෙකු වූ දිවංගත මහාචාර්ය ඔස්මන් ජයරත්න මහතාට දුරකථන ඇමතුමක් ගෙන "sir භෞතික විද්‍යාව සහ මාර්කස් වාදය අතර ඇති සම්බන්දය කියල දෙන්න පුලුවන්ද?" කියා ඇසුවා මතකය ඇත්තෙන්ම එකල මා භෞතික විද්‍යාව හෝ මාර්කස් වාදය ගැන මෙලෝ දැනුමක් තිබුණු අයෙක් නොවුනි. විදුසර පුවත්පතේ තිබු එතුමාගේ නම්බරය මාගේ කුතුහලය අවිස්සුවේය. මම 9 වසරේ වගේ ඉන්ට ඇත. පසුකලෙක මා කුතුහලයට පත්කළ තවත් විෂයක් වුයේ අධි මනොවිද්යවයි (Parapsychology). 2003 අව්රුද්දේ කඳුබොඩ ජාතන්තර භාවනා මධ්‍යස්ථානයේ නායක ස්වාමින්වහන්සේ වශයෙන් වැඩ සිටි මඩවල උපාලි ස්ථවිරයන් විසින් පලකරන ලද "අධිමනොවිද්යාව්" නම් පොත කියවූ මම භාවනා මධ්‍යස්ථානයට ගොස් උන්වහන්සේ හමු වීමි. එහිදී උන්වහන්සේ විසින් විවිද පරීක්ෂණ කරන බව මට දැකගන්නට ලැබුණි. මේ සඳහා කොළඹ විශ්ව විද්යාලයේ මහාචාර්ය චන්දන ජයරත්නයන්ද සහභාගී විය. ouja board එකෙන් බුතයන් අල්ලන සැටි, භාවනාවෙන් මනසට වෙන විපර්යාස වෙනි දෑ එහිදී පරීක්ෂණයට ලක්විණි. මෙහිදී සිදු වූ විශේෂතම සිදු වීමක් නම් මගේ පසුකලෙක හොඳම මිතුරෙකු සහ ගමන් සගයා වූ ලක්ෂ්මන් චෞධ්රි සහෝදරයා හමුවීමයි. මම එකල 9 වසරේ සිසුවෙක් වීමි. මේ සිදුවීම් සහ අභිප්රෙරනාත්මක සාධක නිසා මා "විද්‍යාවට" පෙම් බැන්දෙමි.

තවද මාගේ පියාගේ මිතුරෙකු වූ "ජයකොඩි" මාමා මාගේ අනෙක් තීරණාත්මක සාධකය විය. ඔහු යුරෝපයේ අවරුදු ගණනාවක් ජීවත්ව රටවල් 12ක පමණ ගොඩබිමින් සංචාරය කල සැබෑම ගවේශකයෙකු විය. ඔහු එකල නිතරම අපේ ගෙදර පැමිණියේ ඔහුට මාගේ පියා විසින් මගුලක් ජෝඩු කිරීම නිසාය. ඔහු කෙතරම් ලොව පුරා ඇවිද්දත් ඉතිරි කරගත් මහා දනස්කන්දයක් නොතිබුණි. කිසිම රටක පුරවැසි භාවයක් ගැන හෝ ඔහු උනන්දු වී නොමැත. එහෙත් ඔහු ලේකකයෙකු ලෙස පොත් කිහිපයක් ලියා තිබුණි. සංචාරක අත්දැකීම් ගැන. ඔහු අපේ ගෙදර පැමිණි විට නිතරම ජාත්‍යන්තර දැනුම මට කියාදෙයි. ලෝකයේ රටවල දේශපාලනිකමය හා භූගෝලීය දැනුම ඔහු මෙලෙස පැය ගණන් මට කියා දෙයි. ඔහුටම උරුම වූ වාග් ශෛලිය සහ මුහුණේ ඉරියවු සිදුවීමට අනුකුලව නාට්‍යනු සාරයෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව නිසා මේ ලෝක කතන්දර ගැන කුතුහලය තදින්ම මට ඇතිවී තිබුණි. අවසානයේ "ජයකොඩි මාමා" නිසා මට සංචාරය පිලිබඳ ඇල්ම තදින්ම ඇති විය. ඔහුගේ දර්ශනය වුයේ ඇවිදීමයි. එක රටක දීර්ගකාලීනව සිටීමට ආසාවක් ඔහුට නොතිබුණි. මා අදටත් ඔහුට ගරු කරමි. අදටත් ඔහුගේ කතන්දර ඇසීමට අසා කරමි. Wikipedia නොතිබුණු එකල Wikipedia වුයේ ඔහුය. ඊශ්‍රායලයේ සිට මෙහෙයවූ "Operation Thunderbolt" වෙනි මෙහෙයුම්, Jonathan Yoni Nethanyahu වෙනි විරුවන් ගැන Mossad වෙනි බුද්ධි අංශ ගැන මුලින්ම මම ඇසුවේ ඔහුගෙන්ය.  ඔහුගෙන් මාගේ අසාවන් ගොන්නට "සංචාරය" එකතු විනි. 

එකල සිට අද වන තුරු පුරුද්දක්ව තිබු Sunday Observer පුවත්පත මාගේ ජීවිතයේ අනෙක් වැදගත්ම සාධකය වී තිබුණි. වාසනාවකට මාගේ පියා එම පුවත්පතේම පුවත්පත් කලාවේදියෙකු ලෙස සේවය කල බැවින් එය නොමිලේම එකල මට කියවන්ට ලැබුණි. එක දිනක් 2003 අව්රුද්දේ අග බාගය වන්ට ඇත. මම එක්තරා දැන්වීමක් දුටුවෙමි. ඒ දැන්වීම පල කර තිබුනේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසිනි. දැන්වීමේ තිබුනේ ඇමෙරිකාවේ ගුවන් හමුදා ඇකඩමියේ (US Airforce Academy ) ශිෂ්‍යත්වයක් පිළිබඳවයි. ගුවන් ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට අවරුදු 4කට. මේ  දැන්වීම මාගේ කුතුහලය වෙනතකට යොමු කරන්ට විය. "ගුවන් යානා" මාගේ නවතම ප්‍රේමය විය. ඇත්තටම මම ගුවන්තොටුපලකට ජීවිතේට ගොස් තිබුනේ නැත. මාගේ පරම්පරාවේ හෝ නෑදෑයන් කිසිවෙකුත් මේ ශේෂ්ත්රයේ සිටියේ නැත. ගුවන් යානා වලට ආසා කිරීමට මුලික හේතුන් වුයේ, එහි ඇති විශ්මයජනක භාවයත්, ගුවන් යානා පැදවීමේදී ලැබෙන්නාවූ සුන්දර අත්දැකීමත් නිසාය (උපකල්පිත). මාගේ මනස , ශක්තිය , සිහින , ඉලක්ක සියල්ල ගුවන්යානා දෙසට විතැන් විය. රත්මලානේ පව්ද්ගලික ගුවන් පාසලක පාසල් නිවාඩු කාලයේ පවත්වනු ලබන "Holiday Course" එකකට යාමට කෙසේ හෝ ගෙදරින් අවසර ගතිමි. මාගේ පියා දැඩි සම්ප්‍රදායික මත දාරියෙකු බැවින් මේ දින 5 පටමාලාව කිරීමටද මට ගෙදර විප්ලවයක් කිරීමට සිදුවිය. කෙසේ හෝ යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂනිකයෙකු වූ මගේ ලොකු මාමා (දැනට ජීවතුන් අතර නොමැත .)ගේ පෙරැත්ත නිසාම මාගේ පියා මට එය කිරීමට අවස්ථාව  ලබාදුනි. 2004 අවුරුද්දේ විය. 

                                                                      "ලෝකය පිලිබඳ හැදෑරීම, සංචාරය, විද්‍යාව, ගුවන්යානා, අභියෝග, වික්‍රමාන්විත ක්‍රියා " මේ සාධක දැඩි වශයෙන් මාගේ මනසට කාවැදී තිබුණි. මේ සියල්ලන්ටම ගැලපෙන්නා වූ වුර්තිය "ගුවන් නියමුවෙකු" වීම යයි මම තේරුම් ගතිමි. එහෙත් ටික කලක් ඇතුලත තවත් දෙයක් තේරුම් ගතිමි. එනම් ලංකාවේ ගුවන් නියමුවෙකු වීමට නම් එක්කෝ ගුවන් හමුදාවට බැඳිය යුතු විය, නැතහොත් සල්ලි යහමින් ගැවසෙන පව්ලක උපත ලබා තිබිය යුතු විය. ගුවන් හමුදාවට බැඳීමට දෙමව්පියන් අකමැති වනවා යන්න මා මුල සිටම අවබෝද කරගෙන තිබුනේ මම පව්ලේ එකම දරුවා සහ යුද්දය එකල තිබුණු බැවිනි. මාසික වේතනය 30ක් 40ක් (එකල) ගන්නා පත්තරකාරයෙක්ගේ පුතෙකුට ජාතික ගුවන් සේවයේ ගුවන් නියමුවෙකු වීම සැබවින්ම සිහිනයකි. එහෙත් සිහිනය අමතක නොකලෙමි. සිහිනයේ ජීවත් වීමෙන් පමණක් පලක් නොමැත. වැඩ කල යුතුමය. මාගේ ලිපියේ දෙවන බාගය  මෙතනින් අවසන් කරමි. 

ජීවිතය නොයෙකුත් හැල හැප්පීම් උස්පහත් වීම් මැද්දේ ගලා ගියේය. ආදරය, වෛය්රය, දුක, සතුට සියල්ල විඳිමින් දන්නේම නැතුව වයස 27ත් විය. සැබවින්ම මා සිහිනය ජයගත්තෙමිද?

නැතහොත් යථාර්තය සහ සමාජ සම්මුතීන් විසින් මාව වට්ටා දැමුවේද ?

ජීවිතයේ අප කුඩා කල සිතන ප්‍රර්ථනා කරන සියල්ල ඉටු කර ගැනීම පහසු නොවනු ඇත. "කාලය , යථාර්තය සහ සමාජ සම්මුතීන් " විසින් අපට පහර දෙනු ඇත. මොනවද මේ සමාජ සම්මුතීන්? අප මිනිසුන් වශයෙන් කසාදයක් බැඳ ළමයි සාදා ගෙයක් දොරක් සාදා ගැනීම ප්‍රදනතම සම්මුතියකි. මේ සම්මුතියෙන් බැහැර වන්නන් "පරාජිතයන්, නරක මිනිසුන්, පිස්සන් හෝ වෙනත් නමකින්" හංවඩු ගසනු ඇත. උදාහරණයක් ලෙස මම දෙබසක් යොදාගන්නෙමි.

"එයාට මොනවා තිබ්බත් වැඩක් නැනේ, ලමෙක් ගැණියෙක් නැතුව, කවදාහරි මේ හම්බ කරන ඒවා කාටද, කවදාහරි වයසට ගිය දවසට බලාගන්නේ කව්ද ? " වශයෙන්. 
මේ  දේවල් සැබෑවක් විය හැක. එහෙත් බොහෝ මිනිසුන් තම තරුණ වියේ මධ්‍යම කාලය වන විට සිහින සම්පුර්ණයෙන්ම අමතක කර දමා තනිකරම සමාජ සම්මුතීන් විසින් වෙලාගනු ලබයි. ඔව්න්ගේ සිහින තවදුරටත් සිහින නොවේ,සමාජ සම්මුතීන් ඔව්න් සිහින ලෙස දකින්ට ගනී. ඔව්න් "ඕව ඉතින් පොඩි කාලේ හිතන දේවල්නේ, දැන් ඉතින් ජීවිතේට මුණ දෙන්න ඕනේ, මොකක් හරි ජොබ් එකක් සෙට්  කරන් පව්ලක් හදාගෙන ගෙයක් දොරක් හදාගන්න ඕනේ. මිනිස්සු මොනවා නොකියයිද", අවසානයේ ඔව්න් සමාජ සම්මුතීන් ඉදිරියේ සිහින පාවා දෙනු ඇත.

මිනිසෙකුට ගෙයක් දොරක් වහනයක් ගැනියෙක් ඕනෙම විය හැක. එහෙත් එම මුලික අවශ්‍යතාවයන් උදෙසා අපගේ ජීවිතමය දැක්ම, සිහින පාවා දෙන්නේ නම් ඔහු හෝ ඇය කරගන්නේ තමාටම විශාල අසාදාරනයක් නොවේද. අවසානයේ ඔව්න්ට ජීවිත කාලයක් ගෙවන්නට තිබෙන නිවාස ණයක්, ෆිනෑන්ස් කල වහනයක් සහ අතෘප්තකර සහකාරියක සහ ළමයෙකු දෙන්නෙකු ඉතිරිවනු ඇත. අවසානයේ මාරයා විසින් නොමිලේ හර්දයබධයක්ද ලැබෙනු ඇත. උවමනා තරම් මෙසේ මිනිසුන් මට හමුවී ඇත. "මම ඉස්සර අසයි wild life photography වලට, campus ඉන්න කාලේ යාළුවොත් එක්ක කලා. ඊට පස්සේ ජොබ් එකක් හොයාගන්න try කළා. ජොබ් එක සෙට් උනගමන් කසාද බැඳගන්නැයි උවමනා කලේ, බැන්දට පස්සේ ළමයි හදන්න. ඊට පස්සේ උන්ගේ ශිෂ්‍යත්වේ, සාමාන්‍ය පෙළ, උසස් පෙළ. මේ අතරේ ගෙවල් හදන්න, වාහන වල finance ගෙවන්න. අඩු ගානේ wife එක්ක කතා කරන්න වත් වෙලාවක් නැහැ. එයා එනකොට 7යි. මම එනකොට 8යි. ඊටපස්සේ ළමයින්ගේ වැඩ. නිදාගන්නකොට 12ත් පැනල. " 

මේ මම අසපු එක පුද්ගලයෙක්ගේ දෙබසක් පමණි. තවත් මෙවැනි කතන්දර උවමනා තරම් අසා ඇත. 

සිතන්න "මේ ජීවිතේද?" 

මොහු ජීවිතේ විඳිනවද වින්දවනවද? මේ සම්මුතීන් ජීවිතේට අත්‍යවශ්‍ය බව නොරහසකි. එහෙත් සම්පුර්ණයෙන්ම මේ සම්මුතීන් විසින් ජීවිතය ගිල දමා ඇත. සිහින ගිල දමා ඇත. ජීවිතයේ සුන්දරත්වය, ලෝකයේ සුන්දරත්වය , කලාවේ සුන්දරත්වය විඳීමට ඔහුට කාලය නොමැත, මුදල් නොමැත. ඔහුගේ දරුවන්වද එම මාර්ගයේම ගමන් කිරීමට පටන් ගතහොත්, දරුවන්ගේ දරුවනුත්.....

තවකෙක් කියනු ඇත... "මල්ලී මේක තමයි ජීවිතය..... ඕකට මුණ දීපන්..... " මම ඔහුත් සමග තර්ක නොකරමි. ඔහුට මාව මෝඩයෙකු සේ පෙනෙනු ඇත. මට ඔහුව මෝඩයෙකු සේ පෙනෙනු ඇත. ඔහු සමහරවිට ජීවිතයේ සිහින දකින්න ඇත්තේ මේ "අනිවාර්ය" සම්මුතීන් සිහින ලෙස වටහාගෙන විය හැකිය. දැන් ඔහුට නිවසක් ගෙයක් ගැහැනියක් වහනයක් ඇත. මින් ඉදිරියට ඔහුට සිහින නොමැත. මා මේ ලිපිය ලියන්නේ අනිවාර්ය සම්මුතීන් තම සිහින කරගත් මිනිසුන් වෙනුවෙන් නොවේ.මුල සිටම ජීවිතයේ දැක්මක්, යම් පමණකට හෝ ජීවත්වීමේ රසවින්දනයක් ඇති මිනිසුන් වෙනුවෙනි. ජීවත් වීමේ රසවින්දනය යනු අරක්කු බෝතලයක් වටේ සිට එය ඉවර කර, එක එකා ගැන ඕපාදුප කීම, සින්දුවක් දෙකක් කියා විසිර යාමද නොවේ . මමද අමධ්‍යප නොවේ. එහෙත් මීට එහා අපට ලෝකයේ බොහෝ ආශ්චර්යමත් දේවල් විඳීමට ඇත. කලාව, සංචාරය, සංගීතය සහ අධ්‍යාත්මය, මේ  සැම දේම සම්මිශ්‍රණයක් තිබේ නම් මම එහි ජීවිතයේ විඳීම දකී. 

මේ දේවල් කිරීමට අපට සිතන තරම් මුදල් අවශ්‍ය නොවනු ඇත. සමහරවිට මුදලක් අවශ්‍ය නොවනුම ඇත. අවශ්‍ය වනුයේ "කාලය සහ අවශ්‍යතාවය පමණි". සමාජ සම්මුතීන් තුලින් ඔබව දන ගැස්සවූ විට මානසික ආතතිය විසින් ඔබව වෙලා ගනු ඇත. මීළඟට ශාරීරික අබාධ වැලන්දෙනු ඇත. සැබෑවකි අපට සැමදා නිරෝගිව සිටිය හැකි නොවේ. එහෙත් උත්සහ කල හැක.


"යථාර්තය සහ යුතුකම් " 

සිහින කරා යන ගමනේ අපට හමුවන භයානකම සතුරා "යථාර්තය" ලෙස මා දකී. සම්මුතීන් යනු අපට මදක් හෝ වෙනස් කල හැකි, හෝ අර්ධ වශයෙන්  බැහැර කල හැකි දෙයකි. එහෙත් යථාර්තය අපට වෙනස් කල නොහැක. ඉවසන්න මම මාගේ ජීවිතය තුලින්ම උදාහරණයක් ගන්නම්.

ගුවන් නියමුවෙකු වීමේ සිහිනය පසුපස හඹා ගිය මා අවසානයේ නැවතුනේ ගුවන් තොටුපල සැලකිව යුතු රැකියාවක් සොයා ගනිමිනි. එය මාගේ දෙමව්පියන්ට ඉහටත් උඩින්ය. මා විශ්වාස කරන්නේ, අහස අල්ලන්න ගිය නිසා මම පොල් ගසෙන් නැවතුන බවය. එහෙත් මේ මගේ සිහිනය නොවේ. තවමත් ලක්ෂ 70ක් 80ක් සෙවීම ලංකාවේ සිට ලෙහෙසි ඉලක්කයක් නොවනු ඇත (ගුවන් නියමුවෙකු වීමේ වර්තමාන වියදම). එහෙත් එය ලෙහෙසි කරගැනීමේ අවස්ථා මට උවමනා තරම් තිබී ඇත. වෙනත්  රටකට ගොස් අව්රුදු දෙකක් වැඩ කලා නම් ලක්ෂ 40ක් විතර සොයාගැනීමට තිබුණි. එහෙත් යථාර්තය සහ යුතුකම් විසින් මාව දන ගස්වනු ලැබිණි. එනම් පව්ලේ තනි දරුවා සහ අසනීපයෙන් පසුවන මව සහ තවමත් සම්ප්‍රදායික ජීවිතයක් ගතකිරීමට කැමති පියා ලංකාවේ දමා යාමට තරම් මාගේ සිහින මට වැදගත් නොවන බැවිනි. යථාර්තය විසින් මාව දනගස්සවා ඇත. 

එහෙත්.......

ජීවිත් වීම නම් කලාව සුන්දර වන්නේ, එම කලාවේ උත්කෘෂ්ටතාවය (Sublime) වැඩි වන්නේ, එම කලාවේ සරලබව පසුපස ඇති සංකීර්ණත්වය තුල යයි මම දකී. සියල්ල සතුටින් සිදුවන්නේ නම් එහිද ජීවිතයක් නොමැත, සියල්ල දුකින් කෙලවර වෙයි නම් එහිද ජීවිතයක් නොමැත. මිනිසා ලොව රජයන්නේ, මිනිසා හට ඉතිහාසය විසින් ලබාදුන් සියලු අභියෝග ජයගත් බැවිනි. මිනිසා සාර්ථකව අනුවර්තනය වෙමින් නව්‍යකරණය වූ බැවිනි. එසේ නොමැති නම් මිනිසා තවමත් ගල් යුගයේ පසුවනු ඇත. යථාර්තය විසින් අපව දනගස්වාද්දී, අප එයට යම් ප්‍රතිරෝධයක් නොදක්වා සිටිය යුතු නැත යයි මා සිතමි. සමහරවිට යම් නව්‍ය සිතුවිල්ලක් අපව නොසිතන මානයකට රැගෙන යනු ඇත. එහිදී යථාර්තය පරාජය විය හැක. "විය හැක...." ඔව්, මමත් තවම උත්සහ ගනිමි, යථාර්තය හමුවේ නැගී සිටීමට එහෙත් යුතුකම් අමතක නොකරමින්. යථාර්තය සහ අනිවාර්ය සමාජ සම්මුතීන් අප විසින් ප්‍රතිශතාත්මකව පිළිගත යුතුව ඇත. එහෙත් අපගේ සිහින ඒවා උදෙසා පාවා නොදීමට තරම් අප Smart විය යුතුය, සහ සිහින පසු පසම හඹා ගොස් අවසානයේ පසුතැවී , යුතුකම් මගහැර දුක්වීමට තරම් අප මුග්ධ (Dumb) විය යුතු නැත. 

අවසානයේ කිව යුත්තේ, අප කිසිවෙකු සර්ව සම්පුර්ණ සහ සර්ව සමාන නොවේ. එහෙයින් මා ගොඩ නැගු ප්‍රස්තුතයන් සියල්ලන්ටම අදාල විය නොහැක. මම කිසිවෙකුත් සමග ජීවත් වීමේ කලාව පිලිබඳ තර්ක නොකරන්නේ එම හේතුව නිසාය. එහෙත් මා  ලඟින් සිටින හිතවතුන්ව යම් යම් දේ කිරීමට අභිප්‍රේරණය කරන්නේ සමහරවිට ඔව්න්ට එම අභිප්‍රේරණය තුලින් ඔවුන්ගේ සැබෑ වින්දනය කරා යාමට හැකිවේ යයි යන අහිංසක උපකල්පනය තුල සිටගෙනය.

Dulitha Kasun



Thursday, March 17, 2016

මම කළු චරිතයක්ද , සුදු චරිතයක්ද

මම කළු චරිතයක්ද , සුදු චරිතයක්ද

මම යනු මා හොඳින්ම දන්නා පුද්ගලයා වේ. මම ගැන මට ආසන්න මට්ටමට හෝ දන්නා කිහිප දෙනා අතර මගේ මව පියා , මාගේ හොඳම මිතුරන් කිහිප දෙනා හා  මාගේ පළමු ප්‍රෙමය ප්‍රධාන තැනක් ගනී. සැබවින්ම මම කළු චරිතයක්ද සුදු චරිතයක්ද යන්න මා මගෙන්ම නිතරම අසන ප්‍රශ්නයක් වේ. බැලු බැල්මට එය ඉතා මෝඩ සහ සුළු ප්‍රශ්නයක් බව පෙනෙනු ඇත. මා මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ එක්තරා පිරිසක් වෙනුවෙනි. එනම් සමහර අප අතර සිටින මිනිසුන් ඔව්න්ගේ හර්දසාක්ෂියේ සිරකරුවන් වී සිටින්නේ මේ ප්‍රශ්නයට පිළිතුර සොයාගත නොහැකිවය. උදාහරණයක් ලෙස සිතමු, අප අතර සිටින කුඩු, ගංජා ගසන සොහොයුරෙකු සහ ගණිකා නිවාසයක සිටින අවරුදු 19ක යුවතියක්. "ඔහු" ඇබ්බැහි වී ඇත්තේ මත්ද්රව්‍යකටය, "ඇය" ඇබ්බැහි වී ඇත්තේ මුදලටය. නැතහොත් ඇයට නඩත්තු කරන්න පව්ලක් ඇති බැවින් සහ ඇය සතුව ඇති එකම මුදල් සෙවිය හැකි එකම දෙය ඇයගේ ශරීරය බැවින්. ඔහුට මත්ද්‍රව්‍ය වලට යොමු වීමට හේතු තිබෙන්නට ඇත. සමාජ විද්‍යාත්මක හෝ මානසික ගැටළු නැතහොත් පාරිසරිකමය සාධක නිසා ඔහු මේවට යොමුවන්ට ඇත. ඔව්න් කළු චරිත ලෙස සමාජය හංවඩු ගසා තිබෙන්නේ ඔව්න්ගේ සමාජමය සහ මනසිකමය යථාර්තය තේරුම් ගැනීමට තරම් මුහුකුරා ගිය හෝ පුළුල් බුද්ධියක් නැති මිනිසුන්ය. සැබවින්ම කළු චරිත වන්නේ ඔව්න්ව මේ තැනට ගෙන ආ මිනිසුන්ය. ඔව්න්ගේ හර්දසාක්ෂිය නිරතුරුව ඔව්න්ට පවසන්නේ "දැන් උඹ වලට වැටිලා ඉවරයි, දැන් මේ විදියට ඉන්න ටිකත් ජීවත් වෙමු"..... යන්නයි.

 දැන් නැවතත් මම එන්නම් "මම" කියන චරිතය දෙසට ,

මම සුදු චරිතයක්ද නැතහොත් කළු චරිතයක්ද,

සාමාන්‍යයෙන් "මම" යන චරිතයේ මා දුටු වැරදි සහ මාගේ හර්දසක්ෂියේ මා සිරකරුවෙකු වූ සමහරක් තැන් මා මෙහිදී පාපොච්චාරණය කරන්නෙමි.

මම කුකුල් කේන්ති කරයෙක්මි. තරහ ගියහම ඉන්න තැනත් අමතක වෙන, මා හරි කියන දෙය වැරදි කියා අම්මා තාත්ත කිව්වත් ඔව්න් සමග තර්ක කර රණ්ඩු කරන තැන් ඒමට මාගේ ජීවිතයේ තිබුණි. තවමත් ඉඳහිට එය සිදු වෙන දෙයකි.

මා දෙමව්පියන්ට බොරු කර ඇති අවස්ථා එමටය - ඒවා බොහෝ විට ප්‍රථම ප්‍රෙමය සිදු කරද්දී සිදු කල බොරුය. (දැන්නම් අරක්කු ටිකක් බොන්නෙත් අම්මට කියායි )

මොකක් ? ඔව් මම කියන පුද්ගලයා අමධ්‍යප පුද්ගලයෙක් නොවේ.

එසේනම් ඉහල සාධක උපයෝගී කරගෙන බලමු මම කළු චරිතයක්ද සුදු චරිතයක් ද  කියා....

මට තරහ යයි, තරහ ගියවිට උන්හිටි තැන් අමතක වෙයි - ( තරහ යාම නිසා සමාජයට හානියක් වන්නේ නම් එය ප්‍රතිකාර ගත යුතු මානසික රෝගයකි, එහෙත් මනෝවිද්‍යාවේදී යම් මට්ටමකට තරහ යාම පව්රුශයේ (Personality Characteristic) ලක්ෂණයකි.) මම තරහ යාමේ අවශ්‍ය මට්ටමට වඩා ගිය තැන් ඕනෑවටත් වඩා ඇත. එහෙත් බොහෝ විට ඒ අවස්ථා වල භෞතිකමය හිංසනය සමග තරහව මිශ්‍ර නොකර ගැනීමට මම වග බලා ගනී. මම දෙමව්පියන් සමග, මාගේ පෙර පෙම්වතියන් සමග උවමනාවටත් වඩා රණ්ඩු වී ඇත. ඒවා ඇසුණු පිට මිනිසුන් මොහු කාලකන්නි පුතෙකු සහ නපුරු පෙම්වතෙකු ලෙස මාව ඕනේ තරම් හම්වඩු ගසන්ට ඇත. මාගේ ලඟින්ම ආදරය කල බොහෝ දේනා මගෙන් ඇත් වන්නට ඇත. එහෙත් මම මත්වතුර නිසා කිසිදා තරහ යන පුද්ගලයෙක් නොවෙමි. මාගේ තරහවට බොහෝ විට හේතු පාදක වී තිබුනේ යමෙකු මට "බොරුවක්" කලා කියන හැංගීම හෝ "අසාදාරනයක් " කලා කියන හන්ගීමය. නතොහොත් අධික සැකයය. ලෝකයේ මිනිසුන් යම් යම් හැකියාවන් සහ නොහැකියාවන් සමග උපදී. සමහරක් ගණිතයට දක්ෂ ලෙසද සමහරෙකු කලාවට දක්ෂයෙකු ලෙසද උපත ලබයි. සමහරෙකු මේ අතර බාහිර සංවේදන වලට අධි සංවේදීතාවයකින් යුක්තව උපත ලබයි. උදාහරණයක් ලෙස බලන්න. සමහර මිනිසුන් තවකෙකුගේ අංග චලනයන් වලින් මොහු කිනම් පුද්ගලයෙක්ද කියා කියන්ට දක්ෂය (Body Language Experts). විවිධාකාර විධ්යාවන් කලාවන් එකට සම්බන්ද කිරීමට උත්සහ ගනී. මේවගේ ඔබට බාහිර සංවේදීතාවය වැඩි මට්ටමකට දැනෙන විට, ඔබ බොහෝ දේවල් සිතන්ට ගනී. ඔබ සියලුම වර්ගයේ කලා කෘතීන් ආත්මීය ලෙස වින්දනය කරන්නට ගනී. ඔබගේ විභවය (Potential ) ඉතා දැඩි මට්ටමක ගනී. ඒ විභවය සහ අධි සිතීම Overthinking තුලින් ඔබ බොහෝ නොදුටු දේ දකින්න උත්සහ කරයි. මේ ඔබට තිබෙන අධි සංවේදීතාවයේ ඍණ අතුරුපලයකි. මනෝ වෛද්‍ය විද්‍යාවේදී මෙවැනි ලක්ෂණ තුලින් ඔබට දැනෙන දේවල් Paranoid/ Anxity (කාන්සාව) , Othelo Syndrome(අධික සැකය),  වෙනි නම් වලින් හඳුන්වයි. මේවා රෝග ලෙස ඔව්න් හඳුන්වන්නේ, මෙවැනි ලක්ෂණ තුලින් ඔබගෙන් සමාජයට හෝ ඔබටම ගැටළුවක් විය හැකි බැවිනි. මාගේ ජීවිතයේ විවිධාකාර බුද්ධිමය හැකියාවන් සහිත පුද්ගලයන් දැක ඇත. මේ බොහෝ දෙනෙක් යම් යම් මනසිකමය ගැටළු වලින් ජීවිතේ යම් කලෙක හෝ තවමත් ඉඳහිට දුක් වින්ද ඇත.

හරි, දැන් විද්‍යාත්මක පසුබිම අමතක කර නැවතත් පෙර ගැටලුවට එමු. මම කළු චරිතයක්ද සුදු චරිතයක්ද,

ඉහත දැක්වූ තරහ යාම මාගේ පසු බිම තුල ඇත. එහෙත් මම එම තරහව කෙසේ හෝ පාලනය කරගන්න උත්සහ ගන්නෙමි. ඔව් මම තරහව අතින් ගතහොත් කළු කොටුවක තිබෙන සුදු ලපයක් මෙනි. මම සිතන්නේ මොකද මගේ ස්වභාවය තරහ යාමය. එහෙත් පරිනත වෙන්න වෙන්න, සමාජයේ මුවහත් වෙන්න වෙන්න එම සුදු ලපය කළු පසුබිම තුල කෙමින් කෙමින් විශාල වේ. ඔබ සුදු පසුබිම තුල සිටින කළු පැල්ලමක් ද එනම්, ඔබ එළියෙන් අඳුරට එන පුද්ගලයෙක්ද, ඉතා සන්සුන් පුද්ගලයෙකු ලෙස සිට බාහිර බලපෑම් නිසා තරහව සහ වෛරය සිත තුල වැඩෙන, එසේ නම් ඔබ අදක්ෂයෙකි. මා දක්ෂයෙක් යයි මා නොකියමි, කිමද තවමත් කළු පසුබිමේ සිටින සුදු පැල්ලමක් බැවින්.

මෙය අපට විවිධ හොඳ නරක හැන්ගීම් සමග සසඳා බැලිය හැක. තවත් උදාහරණයක් ගනිමු.

ඔබ පිරිමියෙක් නම්, මදකට සිතන්න ඔබ සහ සුන්දර යුවතියක් එක දුපතක අහඹු ලෙස තනිවේ. ඔබ දෙදෙනාම පමණය. එම දුපතේ කිසිම නීතියක් නැත. ඔබට අවැසි නම් ඒ යුවතිය සිතැඟි පරිදි දුෂණය කල හැක. ඇයගේ ශරීර ශක්තිය ඔබ අසන්නයටවත් නැත. දැන් ඔබට ඔබ කළු චරිතයක්ද සුදු චරිතයක්ද යන්න විමසා බැලිය හැක. ඔබ ගන්නා තීරණ පහත පරිදි විය හැක. (ඔබ සම ලිංගිකයෙකු නොවන බව සහ යුවතිය ගණිකාවක් නොවන බව උපකල්පනය කරමු)

1) ඇයගේ අදහස් නොවිමසා ඇයව දුෂණයට ලක් කර ඔබගේ ආශාවන් සංසිඳුවා ගැනීම (දුපතේ කිසිම නීතියක් නැත. ඔබට දඬුවම් ලැබෙන්නේද නැත)
2) ඇගේ සිතට කෙමින් කෙමින් ලන් වී ඇයගේ සිතත් සමගම ගතත් විඳීම. මෙහිදී ඔබ දෙයාකාර පුද්ගලයෙකු විය හැක. එනම් කපටි ලෙස ඔබගේ ආශාවන් සංසිඳුවා ගැනීමට පමණක් ඇයට ලන්වී පසුව ඇත හැර දැමීම සහ සදාකාලික ඔබගේ තනිකමත් මකා එකට ජීවත් වීමට ඇයට අවස්ථාවක් දීම.

ඔබ ගන්නේ ඉහත පලවෙනි තීරණය නම් ඔබ කළු චරිතයකි. ඔබගේ සුදු පැල්ලමක්වත් නොමැත.
ඔබ ගන්නේ ඉහත දෙවන තීරණයේ පළමු තීරණය නම් ඔබ කළු චරිතයකි, අවස්ථාවාදී ලෙස ඔබ සුදු පැල්ලම් යොදාගනී යොදාගනී.
ඔබ ගන්නේ ඉහත දෙවන තීරණයේ දෙවන තීරණය නම් ඔබ සුදු චරිතයකි.

අප සියල්ලන්ගේම ජීවිත වල මේ කළු සුදු යම් යම් ප්‍රතිශත වලින් ඇත. ඔබට මේ සැම දේම පාලනය කරගැනීමට බුද්ධියක් ඇත. ආගමට හෝ නීතියට බයේ ඔබ මේ ප්‍රතිශතය පාලනය කරයි නම් ඔබ සැබවින්ම කළු චරිතයකි. මෙලොව බොහෝ දෙනෙකු මේ ප්‍රතිශතය වෙනස් කරගැනීමට නොහැකිව තම හර්දසක්ෂියේ සිරකරුවන් වී සිටි.

ලොව කිසිවෙකු සර්ව සාධාරණ නැත. ලොව ප්‍රකට දාර්ශනිකයෙකු වූ "තෝමස් හොබ්බ්ස්" ගේ මතයට අනුව මනුස්සයන් ලොව බිහිවීමත් සමගම බිහි වුයේ ආත්මාර්ථකාමී සහ දරුණු ගති පැවතුම් සමගය. මිනිස් මනස දියුණු වීමත් සමග ඔව්න් ටික ටික හොඳ මිනිසුන් වීමට පටන් ගති. තවත් දාර්ශනිකයෙකු වූ "ජෝන් ලොක්" මීට විරුද්ද මතයක් ගනී. ලෝකයා ස්වභාවයෙන් සාමකාමීය, පසුකලෙක ඔව්න් තණ්හාවත් විවිද බලපෑම් සහ බලයට ඇති අසාවත් සමග වෙනස් වීමට පටන් ගනී. මේ දාර්ශනික ගැටළු වලට පිළිතුරු සෙවීමට මා අදහස් නොකරමි.

හොඳ මිනිසුන් නරක මිනිසුන් යන්න තීරණය කරන්නේ අප විසින්මය. අපට අවශ්‍යනම් කළු පසුබිම තුල සුදු පැල්ලම විශාල ලෙස වර්දනය කර ගත හැක. නැතහොත් සුදු පසුබිම තුල කළු පැල්ලමක් ඇතිවීම අවම හෝ නැති කරගත හැක.

පිළිතුර - "මම " නමැති පුද්ගලයා කළු පසුබිමක තිබෙන සුදු පැල්ලමකි. මා සැමවිටම උත්සහ ගන්නේ ඒ සුදු පැල්ලම විශාල කරගැනීමටය. එහෙත් කළු සියල්ල එම සුදු පැහැයෙන් මැකිය හැකිදැයි මා තවම නොදන්නෙමි. එහෙත් උත්සහ ගන්නෙමි. ඔබ කව්ද යන්න ඔබම සිතා බලන්න.


Drawing and Article - Dulitha Kasun



Tuesday, February 16, 2016

30 Under 30 DNA

30 Under 30 , DNA



මොකද්ද මේ 30 under 30 කියන්නේ ? ඇමෙරිකානු ව්යාපාරික සඟරා වන inc සහ Forbes සඟරා වලින් සෑම අව්රුද්දකම විවිද ක්ෂේශ්ත් 20 කට අදාලව තම ව්දක්ෂතා දැක්වූ වයස අවුරුදු 30 වඩා අඩු 30 දෙනා බැගින් තෝරනු ලබයි. මෙහිදී මෙම ක්ෂේස්ත් වන්නේ,

1) කලාව සහ විලාසිතා  (Art & style)
2) ශක්තිය උත්පාදනය සම්බන්ද  (Energy)
3) රසවින්දන (Entertainment )
4) මුල් (Finance )
5) ආහාර පාන (Food & wine )
6) නීතිය සහ ප්රතිපත්ති සම්පාදනය (Law & Policy)
7) මාධ් (Media)
8) සංගීතය (Music)
9) දේපල වෙළන්දම්  (Real Estate)
10) විද්යාව (Science )
11) පාරිභෝගික තාක්ෂනය (Consumer Tech )
12) ක්රීඩා (sports)
13) විද්යුත් වෙළඳාම සහ වෙළඳ පොළ (E Commerce & Retail )
14) අධ්යාපනය (Education)
15) පරිඝනක ක්රීඩා (Games)
16) ප්රාග්ධන ආයෝජන (Venture Capital)
17) නිෂ්පාදන (Manufacturing)
18) වෙලන්දමය තාක්ෂණික (Enterprise Tech )
19) අලෙවි කළමනාකරණය (Marketing & Advertising)
20) සෞඛ් (Health Care)

මෙහිදී මා ඉදිරිපත්කරන්නේ ඔව්න්ට පොදු වන චරිතමය ලක්ෂණ සහ පරිසරාත්මක සාධක කිහිපයක් පිළිබඳවයි.

1) ඔව්න් බොහෝ දෙනා තම ව්යාපාර අරඹා ඇත්තේ තම නිවසේ සිටමය, ප්රතිශතයක් වශයෙන් 36% කි.
2) ඔව්න්ගෙන් බොහෝ දෙනා එනම් 64% ක් දෙනා මෙම ව්යාපාර ඇරඹීමට සිතා ඇත්තේ ලෝකයට යම් වෙනසක් ලබා දීමටය, ඔව්න්ගෙන් 27%ක් දෙනා තම ආත්ම පරිපුර්ණත්වය උදෙසාය. 8%ක් පමණ තමාගේම යටතේ වැඩ කිරීමට අවශ් නිසාය. ඉතිරි 1% පොහොසතෙකු වීම උදෙසාය.
3) මේ අතර 59% ක් දෙනා රාත්රී කාලයේ සිතන්න වැඩ කරන්න කැමති පිරිසය (Night owls). ඉතිරි 41%ක් දෙනා දහවල් කාලයේ වැඩ කරන්නන්ය.
4) 84%ක් දෙනා තනිකඩයන් වන අතර 16%ක් විවාහක වේ. මේ අතරින් 4%කට පමණි දරුවන් ඇත්තේ.
5) මොවුන් බොහෝ දෙනෙකුට පොදු චරිත ලක්ෂණ වන්නේ, අප්රතිහත ධෛර්යය, යම් දෙයකට ඇති ආශාව, ශුබවදී බව, දැක්මක් ඇති බව, ආත්ම විශ්වාසය සහ නිරන්තරයෙන් ක්රියාත්මක වීම වෙනි ලක්ෂණයන්ය. තවද මොවුන්ගෙන් බහුතරය නව නිර්මාණයක් තුලින් තම සාර්ථකත්වය ළගා කරගත් වුන්ය
6) 17%ක් දෙනා ඉහල පන්තිකයන් වන අතර 20%ක් වැඩ කරන ජනතාව සම්බන්ද පව්ල්ය බහුතරය වන 63%ක් මධ්යම පාන්තිකයන් වේ.
7) මොව්න් වැඩි වශයෙන් පාවිච්චි කල Mobile Apps අතර Facebook නොමැති වීම විශේෂ ලක්ෂණයකි.
8) මොව්න්ගේ සිහින උපදේශකයන් අතර ප්රධාන තැනක් ගන්නේ, Bill Gates, Elon Musk , Steve Jobs, Richard Branson, Barack Obama වෙන්නන්ය.
9) මේ අතර 44%ක් දෙනා උපදිධාරින් වන අතර 24%ක් දෙනාට ඇත්තේ උසස්පෙළ වෙනි සුදුසුකමක් පමණි. 18% ක් පමණි පශ්චාත් උපදිධාරීන් ඉන්නේ.


මෙය මා ඉදිරිපත්කරන්නේ සියල්ල රජයෙන් කරදෙන තුරු බලා සිටින, අධ්යාපනයේ සිට රැකියාව දක්වා රජයෙන් බලාපොරොත්තුවන රටක සිතුවිලි මදක් හෝ වෙනස් කිරීම උදෙසාය. තරුණ පරපුර තම තරුණ වියේ හොඳම කාලය පළමු උපාදිය සහ උසස් පෙළ වෙනුවෙන් කැප කරයි. සාමාන්යයෙන් ලංකාවේ තරුණයෙකු අවරුදු 20, 21 වෙනතුරු උසස් පෙළ හදාරයි ඉන්පසු අව්රුද්දක් පමණ ගොස් විශ්ව විද්යාල අධ්යාපනය ආරම්භ කරයි. ඉන්පසු අවරුදු 4ක් හෝ සමහර උපාදි සඳහා 5ක් හෝ 6ක් ගොස් එලියට එයි. තරුණ ජවය සහ නිර්මාණශීලිත්වය සිසු සටන් සඳහා සහ අධ්යාපනය උදෙසා අවරුදු අවරුදු ගානක් වැය කල පසු බොහෝ දෙනාට සිද්ද වනුයේ එක්කෝ Charted, CIMA හෝ CIM වෙනි සුදුසු කමක් කිරීමය. මේ සියල්ල කල පසු අවරුදු 26, 27 වෙයි ඉන්පසු  අධ්යාපනයට ගැලපෙන රැකියා වෙළඳ පලක් නොමැති කමින් ඔව්න් අවසානයේ බොහෝ දෙනා නැවතත් වීදි බසී. ඉංග්රීසි සහ අමතර පාඨමාලා කර වුන් කෙසේ හෝ රැකියාවකට රිංගා ගනී. සල්ලි තිබෙන වුන් මේ අතර MBA වෙනි සුදුසුකම් කර තවත් ඉදිරියට යාමට උත්සහ ගනී. මේ අතර ඔව්න්ට 30 under  30 වීමට සිතීමටත් පෙර 30 පසු වී ඇත. ඉන්පසු ඔව්න්ගේ තරුණ නිර්මාණශීලිත්වය, ජවය බොහෝ දුරට ඇත්වී කසාදයක් බැඳ එකලාසයක් වීම පමණක් අරමුණු කර ගනී. මේ වූ කලී ලංකාවේ වාසනාවන්තම සහ දක්ෂතම සහ බුද්ධිමත්ම පිරිසට සිදුවන්නා වූ අවාසනාවන්ත ඉරණමයි (බසැමට නොවේ). මෙය වෙනස් කිරීම පහසු දෙයක් නොවුනද වෙනස් විය යුතුමය. නැතහොත් ගුවන් යානය යන්නේ නිදිබර වූ ගුවන් නියමුවන් සමගය. ලාංකීය සමාජයේ ව්යවසයකයෙක් යන වචනයේ තේරුම දන්නේද කීයෙන් කී දෙනාද. තමාගේ දරුවා දීග දීමට දෙමව්පියන් සොයන්නේ වෛද් හෝ ඉංජිනේරු නතොහොත් ගණකාධිකර හෝ නීති වුර්තිකයෙක්ටය. අනෙකුත් වුර්තීන් ගැන සාමාන් ජනයාට දැනුමක් ඇත්තේද නැත. මාගේ මිතුරෙකුට තම පෙම්වතිය අහිමි වුයේ රජයේ රැකියාවක් නොමැති කමින්ය. මිනිසුන් සිතා සිටින්නේ රජයේ රැකියා සුරක්ෂිත සහ අර්ථ සාධකයකින් යුක්ත නිසා හොඳම දේ රජයේ රැකියාවක් කිරීම බවය. එය වර්තමානයේ විහිළුවකි. රැල්ලන් පසු පස සහ අල්ලපු ගෙදර අයියා කරපු උපාදිය කලොත් ගොඩ යයි කියා සිතන සමාජයක ව්යවසායකත්වය තරුණ සිත් වල ඇති කරන්නේ බියකි. රජයෙන් ව්යවසායකයන් දිරිගැන්වීම කරන්නේ ඉතා අඩුවෙනි. සින්ගප්ප්පුරුව වෙනි රටවල් වල ආර්ථිකය රඳා පවතින්නේ සුළු සහ මධ්යම පරිමාණ ව්යාපාර සහ සේවා වෙළඳ පල නිසාය. රජයේ සහ පව්ද්ගලික අංශයේ උසස් තනතුරු දරන්නේ අවරුදු 27, 28 තරුණයන්ය. මේ චින්තනය වෙනස් නොවුන හොත් අපතේ යන්නේ රටට ඇති විශාලතම සහ අගනාම බුද්ධිමය ප්රග්ධනයයි.

දුලිත කසුන්