Powered By Blogger

Friday, September 29, 2017

සටන

සටන 


ලෝකයේ සටන් පිළිබද අසන්නට නොලැබෙන දිනක් අපට කෙදිනක හෝ අසන්නට ලැබී තිබේද. මිනිසා යනු සටන් කාමී සත්වයෙකි. මිනිසාගේ පැවැත්ම රඳා පවතිනුයේ සහ මේ තාක්කල් පැවතුනේ එම සටනට ඔහු ඉතා හොඳින් මුහුණ දුන් නිසාය. මා මෙහිදී මෙම සටන පිළිබද මාගේ ජීවිතයේ ලැබුවාවූ විවිධ ප්‍රත්‍යක්ෂයන් සහ දුටු, කියවීම් ඇසුරින් මෙය ලියමි. බොහෝ දෙනෙකු තම දිවියෙන් මෙන්ම තම සිහින වලින් පැරදෙන්නේ මෙම සටනට මුහුණ දීමට තරම් ආත්ම ශක්තියක් හෝ නිර්භිතකමක් නැති තැනය. සෑම මිනිසෙකුටම තම ජිවිතයෙන් ලොවට සහ තමන්ට ඉටුවිය යුතු යම් යුතුකමක් සමුහයක් ඇති බවට මා තරයේ විශ්වාස කරමි. තවෙකෙකු එය තම ආගමට අනුකුලව දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස අර්තදක්වනු ඇත. කෙසේ හෝ අවසානයේ අප ජිවිතයේ අප සටන් කල යුත්තේ මොනවාටදැයි යන්න මා මේ ලිපියෙන් පහදන්නට උත්සහ කරමි. 

1) අප පළමුව සටන් කල යුත්තේ අපගේ ස්ව සතුට වෙනුවෙනි. ( මෙහිදී අපගේ සතුට වෙනකෙකුගේ සතුටට බාදා නොවන ආකාරයට සාක්ෂාත් කර ගත යුතුය)
2) දෙවනුව අප සටන් කල යුත්තේ අප දෙමව්පියන්, පවුල සහ අප වෙනුවෙන් ජිවිතයේ කැපකිරීම් කල මිනිසුන්ගේ සතුට සාක්ෂාත් කර දීම සඳහාය. 
3) තෙවනුව අප සටන් කල යුත්තේ තම උපන් දේශයේ ජීවත් වන්නා වූ සියලු ආගම්, ජනවර්ග වලට අයත් සියලු මිනිසුන්ගේ සතුට උදෙසාය. 
4) සිව්වනුව අප සටන් කල යුත්තේ ලෝකයේ වෙසෙන්නා වූ සියලු මිනිසාගේ මනුෂ්‍යත්වය, අයිතිවාසිකම්  සහ සතුට වෙනුවෙනි. 
5) පස් වෙනුව අප සටන් කල යුත්තේ ඉදිරියේදී ලෝකය දකින්නට, බිහිවෙන්නට සිටින දරුවන්ට යහපත් සෞඛ්‍ය සම්පන්න ලෝකයක් ඉතිරි කිරීම උදෙසාය. 
6) සය වනුව අප සටන් කල යුත්තේ අප මෙන්ම ලෝකයේ සමතුලිතතාවය පවත්වාගෙන යාමට උදව් දෙන සහ ලෝකයේ සුන්දරත්වයේ කොටසක් වන ගහකොළ සතුන් ගේ පැවැත්ම උදෙසාය. 

අපගේ ජිවත් වීමේ අර්ථය යම් ආගමකට අදාළ පොත් වල විවිධාර්ථයෙන් අර්ථ දක්වා තිබෙන්නට පුළුවන. මා පෙර පැවසු කරුණු සය කෙතරම් සාධාරණද යන්න ඔබගේම හර්දසාක්ෂියෙන් විමසා බැලීමට ඔබට පිවිතුරු වූ නිදහසක් ඇත. මා දැන් ඉහත කරුණු සය තවදුරටත් පහදන්නට උත්සහ ගන්නෙමි.

1) අපගේ ස්ව සතුට (මාගේ) වෙනුවෙන් කරන්නා වූ සටන කුමක්ද?

මේ සටනේ පළමු අදියර අප කරන්නේ ලෝකයට බිහිවීමටත් පෙර සිටය. මව් කුස තුල තම ජීවිතය සුරක්ෂිතව පවත්වාගෙන යාමේ සටන අප නොදැනුවත්ව හෝ ඉටු කරමු. මවගේ යෝනි විවරය තුලින් ලෝකයට පැමිණීමේදී මෙහි දෙවෙනි අදියරද මවගේ සහයෝගයෙන් අප ඉටු කළෙමු. අවසානයේ අද්යාපනයේ සිට මේ තාක්කල් මුහුනද දී ජය ලැබූ සියලු ගැටළු වලින් අප ජය ලැබුවද නොලැබුවද තවමත් අප ජිවතුන් අතර සිටින්නේ අප මේ සටනට සාර්ථකව මුහුණ දී ඇති නිසාය. මින් තව දුරටත් ඉදිරියට ගිය හොත්  අපට පෙනී යාවි අපගේ සතුට වෙනුවෙන් තව බොහෝ සටන් වලට අපට මුහුණ දීමට සිදුවන බව. උදාහරණයක් වෙනුවට, ඔබට පැරිසියට යාමට කුඩා කල සිහිනයක් තිබුනා යයි සිතන්න. ඔබගේ දෙමව්පියන්ට මේ සදහා උදව් කිරීමට ආර්ථික ශක්තියක් නොතිබුනා යයි සිතන්න. ඔබට ඇති එකම විසඳුම වනුයේ ඔබගේ සිහිනය වෙනුවෙන් සටන් කිරීම පමණි. අධ්‍යාපනය, ඔබගේ හැකියාවන් මේ සටනේ අවිය කර ගැනීමට ඔබට පුළුවන. ප්‍රේමය වෙනුවෙන් කරන්නා වූ සටනද මා වර්ගීකරනය කරනුයේ ස්වයන් සතුට වෙනුවෙන් කරන්නා වූ අරගලයක් ලෙසය. ඔබගේ ආදරය අයිතිකරගැනීමට නම් ඔබ එහිදී සටන් කල යුතුමය. තවකෙකුට මෙම සටන ආර්තිකමය, භාෂාමය, නීතිමය හෝ සංස්කෘතිකමය සටනක් දක්වා ඇදී යා හැකිය. කෙසේ හෝ ඔබ එය දිනීමට සටන් කල යුතුය. එතනින් එම සටන නොනවතිනු ඇත.ඇයගේ හෝ ඔහුගේ සතුට, විවාහයේ සාර්ථකත්වය පවත්වා ගැනීමට ඔබ සටන් කල යුතුය. මේ සටනේ ඔබට එන මානසික ප්‍රශ්න, ගැටළු වලට මුහුණ දී ඒවා ජය ගැනීම‍ට නම් ඔබ අනිවාර්යෙන්ම සටන්කාමී විය යුතුය. බියගුල්ලෙකු සේ මේ සටන ඔබ මග හරින්නේ නම් ඔබ අවසානයේ සියදිවි හානි කර ගනු ඇත. නැතහොත් මානසික රෝගියෙකු වනු ඇත. නැතහොත් සියල්ල අත්හල මිනිසෙකු විය යුතුය. ඔබගේ සිරුර තුල ශිෂ්ටාචාරයේ අපගේ ප්‍රාථමික මුතුන් මිත්තන්ගේ සිට පැවත එන සටන් කාමී ජාන තවමත් සැඟවී ඇති බවට මා විශ්වාස කරමි. ප්‍රශ්නයක් පැමිණි විට එම සටන් කාමිත්වය හිතට ගෙන, නියම විරුවෙකු සේ සටන් කරන්න. තව දෙයක් සිතේ තබා ගන්න. මේ සටන සාධාරණ සටනක් විය යුතුය. ඔබගේ සතුට වෙනුවෙන් ඔබ "අහින්සකයෙකුගේ" සතුටට හානියක් කරන්නේ නම් එහිදී ඔබ නියම විරුවෙකුගේ පළමු නිතිය බිද දමා අවසන්ය. නියම විරුවා සැමවිටම නියමා කාර සැලසුමක් සහිතව, නිවැරදි සදාචාරමය ප්‍රතිපත්තියක් සහිතව සටන් කල යුතුය. සටන් කරුවා මිය යා යුත්තේ සතුරා අතින් මිස තම අතින් ගෙල වැල ලා ගෙන නොවන බවද සිතෙහි තබාගන්න. 

2) ඔබගේ දෙමව්පියන්, පව්ල සහ ඔබ වෙනුවෙන් ජිවිතයේ කැප කිරීම් කල මිනිසුන් වෙනුවෙන් කරන්නා වූ සටන.

මා පෙර කියුවා සේ ජිවිතයේ පළමු සටනට අප මුහුණ දෙන්නේ මෙලොවට බිහි වීමටත් පෙර සිටය. එතැන් සිට ඔබ අද ජිවත් වන මොහොත දක්වා ජීවිතය පවත්වා ගැනීමට ඔබට බොහෝ මිනිසුන් උදව් කර ඇතුවාට සැකයක් නොමැත. මේ මිනිසුන් නොමැති නම් අද ඔබ සිටිනා තැන නොසිටින්නට පිළිවන. එබැවින් ඔබගේ ජිවිතයේ අරුත සාක්ෂාත් කර ගැනීමේ සටනේ දෙවෙනි අරගලය කල යුත්තේ ඒ මිනිසුන් වෙනුවෙන්. මේ කුලකයට ඔබගේ දෙමව්පියන්, ගුරුවරුන් , බිරිද , ස්වාමිපුරුෂයා සහ තවත් බොහෝ මිනිසුන් අදාළ විය හැක. 

3) ඔබ උපන් දේශය වෙනුවෙන් කරන්නා වූ සටන

තෙවනුව අප සටන් කලයුත්තේ අප ජිවත් වන දේශයේ සියලු පුරවැසියන්ගේ අභිවුර්ධිය, සමානාත්මතාවය, නිදහස සහ අයිතිවාසිකම් වෙනුවෙනි. මෙහිදී මෙම සටන දේශපාලනිකමය, ආගමිකමය හෝ ජනවාර්ගිකමය සටනක් නොවිය යුතුය. ඔබගේ හර්ද සාක්ෂිය, දැනුම,  "කල යුතු හරිදේ" (Right Thing to do) පිළිබද මානුශිකමය, සාදාරණ, දාර්ශනිකමය, විද්‍යාත්මක කෝණවලින් බලා එලබෙන්නා වූ තීරණ අනුව, සියලු පුරවැසියන්ගේ අභිවුර්දිය උදෙසා මෙම සටන දියත් කල යුතුය. ඔබ දේශපාලකයාගේ, ආගමික නායකයන්ගේ හෝ විවිද අවස්ථාවාදී නායකයන්ගේ අත කොලුවක් නොවිය යුතුය. මේ සටන මෙහෙය විය යුත්තේ ඔබගේ විද්‍යාත්මක දැනුම, සදාචාරමය ප්‍රතිපත්තීන් සමග මිශ්‍ර වුන හර්ද සාක්ෂියමය. ඔබ දැනුමෙන් සන්නද්ද විය යුතුය, දෙවනුව ඔබ රටට දැයට අවැඩක් සිදුවන විට නිශ්ශබ්දව සිටීමේ ප්‍රතිපත්තියෙන් බැහැර විය යුතුය. ඔබට වචනයකින් හෝ සදාරණත්වය පිහිටුවීමේලා දෙයක් කල හැකි නම් ඔබ එය කල යුතුමය. මෙහිදී අවියට පෙර නිර්මාණශිලිත්වය තුලින් ඔබට බොහෝ දෙයක් කල හැකි බව මා විශ්වාස කරමි. 

4)  මානුෂියත්වය උදෙසා කරන්නා වූ සටන

මේ සටනට දේශා සීමා නොමැත, වර්ණයක්, ආගමක් හෝ ජාතියක් නොමැත. ඔබ යම් තැනක, යම් ප්‍රජාවක, යම් ආගමක , යම් ජනවර්ගයක, මිනිසාගේ මුලික අයිතිවාසිකම්, සදාරණත්වය සහ නිදහස උල්ලංගනය වන්නේ නම් ඔබ ඒ උදෙසා හඩක් නැංවිය යුතුමය.ඔබගේ හඬ ඒ තරම් ප්‍රබල නොවේ යයි ඔබට සිතෙනු ඇත. එහෙත් ඔබේ හඬ මෙන් තවත් මිනිසුන් ලක්ෂ ගණනක් එකතු වන තැන, මේ සටනේ ප්‍රතිපල ඔබට දැකීමට පුළුවන් වනු ඇත. ඔබ කවදා හෝ මිය යන දිනෙක මේ සටනේ ඔබ දුන් දායකත්වය ඔබට මතක් වනු ඇත. මිනිසාගේ පරම යුතුකම මිනිසා වෙනුවෙන් සේවය කිරීමය යන කියමනට ඔබ සාධාරණත්වයක් ඉටු කළා යන ජයග්‍රාහී හැඟීම ඔබගේ ආත්මයේ රැව් දෙනු ඇත. මේ සටනේ අවිය ඔබගේ පන් හින්ද විය හැක, නැතහොත් ඔබගේ පින්සල සහ කැන්වසය විය හැක, ඔව් එසේත් නැත්නම් ගිනි අවියක්ද විය හැක. 

5) ඉදිරියේදී ලෝකය දකින්නා වූ මිනිසුන් වෙනුවෙන් කරන්නා වූ සටන 

විද්‍යාත්මක ජයග්‍රහණ, විවිධාකාර නිපැයුම් සහ අධික පරිභෝජනය හේතුකොටගෙන පරිසරයට සිදුවී තිබෙන්නා වූ හානිය සුළු පටු නොවේ. ආර්ථිකමය සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම උදෙසා ව්‍යාපාරිකයන් සහ විවිධ ආණ්ඩු විසින් ගන්නා වූ පරිසරයට හිතකර නොවන සැලසුම්, ප්‍රතිපත්ති වෙනස් කිරීමට ඔබ සටන් කල යුතුය. දරණිය සංවර්දනයේ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ඔබ සටන් කලයුතුය. නැතහොත් ඉදිරියේදී ඔබටද, මටද , අප දරුවන්ටද සතුටින් ජිවත් වීමට, සාරවත් භූමියක් ඉතුරු නොවනු ඇත. 

6) සත්වයන්ගේ සහ ගහකොළ වල පැවත්ම වෙනුවෙන් කරන්නා වූ සටන 

මෙම සටන පස් වන්න හා බැදී පවතී. ගල් යුගයේ සිට මේ දක්වා මිනිසාගේ පැවැත්ම වෙනුවෙන් විවිධාකාර සතුන් ඉටු කළා වූ සේවය සුළුපටු නොවේ. මිනිසාගේ හොඳම මිතුරා වූ සුනකයාගේ සිට ගවයා දක්වා මිනිසා වෙනුවෙන් ඉතා විශාල සේවයක් කර ඇත. සේවාමය වශයෙන් මෙන්ම කුසගින්න නිවීම උදෙසා. එබැවින් මෙම සත්වයන්, ගහකොළ සහ මිනිසාගේ අතර ඇති සමතුලිතතාවය බිද වැටෙන ඕනෑම අවස්තාවක ඔබ එය නැවත නගා සිටුවීමට සටන් කල යුතුය. එම සටන අනාගත මිනිසා වෙනුවෙන් කරන්නා වූ සටනේම කොටසක් වනු ඇත. 


අවසානයේ කිව යුතු වන්නේ දැන හෝ නොදැන අප ජිවත් වන්නේ මේ සටන් සමග බවය, එක්කෝ ඔබ මේ සටනේ ගොදුරක් වනු ඇත. නැතහොත් ඔබ මේ සටනේ සටන් කරන විරුවෙකු වනු ඇත. තීරණය ඔබ අතේය. ජිවිතයේ වඩාත් වටින්නේ අවුරුදු සියයක් බියගුල්ලෙකු සේ ජිවත් වීම නොව ඔබ කෙටි කාලයක් ජිවත් වුවද ඉහත සටන් වලදී ඔබ කෙතරම් සාර්ථක ලෙස සටන් කලේද යන කරුණට සාදරනත්වයක් ඉටු කළා නම් පමණි. ඔබගේ සටනේ සාර්ථකත්වය මත ඔබගේ නාමය ඉතිහාසගතවනු ඇත. 

DuLee

(BA in Politics and International Studies, BSc in Psychology, Intercultural and inter religious dialogue in Germany - Humboldt University Berlin, MSc in Psychology reading) 

No comments:

Post a Comment