Powered By Blogger

Tuesday, April 5, 2022

Rain drops

 මට මේ හැගීම් ගන්ගාව ලියන්නම හිතුනා. ඇත්තටම ඒක මම හැමදාම කියන දේවල් වලින් කොච්චර වෙනස් වෙයිද කියන්න මම දන්නෙ නැහැ. මේ මම මෝටර් සයිකලේ වැඩ ඇරිල ගෙදර එනගමන් හිතට ආව විකාර ටිකක් වෙන්නත් ඇති. කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර වෙයිද කියන්න මම දන්නෙ නැහැ. ලයික්ස් වලටවත් අවධානයක් ගන්නවත් ලියන්නෙත් නැහැ. සමහරවිට කාත් එක්ක හරි කියල එලියට දාන්න හිතුන දේවල් ටිකක් වෙන්න ඇති. එහෙම කියන්න තරම් දැනෙන කෙනෙක් නැති නිසා ලියල තියන්න හිතුනා. මේක පබ්ලික් දාන්නෙත් නැහැ මම. 


හවස මීගමු පාරෙ මම එන්නෙ කොලඹ පැත්තට, මහ වැස්සක පෙර නිමිති, මම සයිඩ් කන්ණාඩියෙන් නිකමට පිටිපස්ස බැලුවා. ඈතින් මට පේනව දම්පාට අහසක්. හරිම ලස්සනයි. ඉස්සරහින් මහ වැස්සක නිමිති, ඒත් මම අර දම්පාට අහස දිහා හොරෙන් වගේ බලන් හිටියා. දන්නෙම නැතුව වැස්සත් ඇද හැලෙන්න ගත්තා, ඒත් මම ඉදිරියට ගියා. මගෙ හිතට විවිද දේවල් එන්න ගත්තා. මීට මාස 3කට කලියෙන් මම මෙහෙම වැස්සෙ තෙමිලා ගෙදර යද්දි අම්මා කෝපි කෝප්පයක් හදල දෙනවා ආව ගමන්. මම රෙදි ටික ලෙහලා සිගරට් එකක් පත්තුකරන් ඒ කෝපි කෝප්පෙ බොන්නෙ උනුසුම් හැගීමක් එක්ක. ඒත් දැන් ඒක මතක මාත්‍රයක් විතරයි. මට අර සයිඩ් කන්නාඩියෙන් පේන දම්පාට අහස වගේ. මම ඒ දිහාවට තවත් ගමන් කරන් නැහැ. කොච්චර ඒ අහස ලස්සන වුනත් තවදුරටත් මගෙ දිශාව ඒක නෙමෙයි.


ජීවිතේ එක එක බලාපොරොත්තු තිබ්බා. හීන තිබ්බා. මම නිකමට හිතුව ජීවිතේ සමහර දේවල් වුනානම් මොනවගේ වෙන්න තිබ්බද කියලා. ඒ තීරණාත්මක මොහොතවල් වල මම ඒ ඒ තීරණ ගත්ත නම් වර්තමානය මොනවගේ වෙන්න තිබ්බද කියලා. උදාහරණයක් විදියට මම මේ රස්සාවට නොතේරුනානම් හිතන් හිටියෙ සිනමාව සම්බන්දව ඉගෙනගන්න. නලුවෙක් නැත්තම් සිනමා අධ්යක්ශක කෙනෙක් වෙන්න. එයා පෝට් එකේ (පලමුව සිටි ස්‍රී ලන්කන් ගුවන් සේවයේ) ජොබ් එකේ ඉන්ටර්වීව් ගියාට ජොබ් එක ශුවර් උනේ නැහැ. ඉතින් මම තාත්තට කිව්ව එක් ජාතික උසස් අධ්යාපන ආයතනයක සිනමා උසස් ඩිප්ලෝමාව ට අදාල ගෙවීම කරන්න කියල. ඒ ගෙවීම කරන්න යන්න පැයකට දෙකකට කලින් මට ගුවන් සේවයේ රස්සාවට මෙඩිකල් එන්න කෝල් එක ආවා. එතනින් මාසයක් යන්නත් කලින් ගුවන් තොටුපල හා ගුවන් සේවා ආයතනයට ආවා. එදා ඉදන් අවුරුදු 10ක් මම එතන. මම සිනමාව සම්බන්ද ඩිප්ලෝමාව කලා නම් අද මම මොන වගේ තැනක ඉන්න පුලුවන්ද......? මේ වගේ හුදෙකලාව මහ වැස්සක තෙමි තෙමි කවුරුත් නැති හිස් ගෙදරකට මම යන්න ඉඩ තිබෙයිද? (වාහනයක් ගන්න එකනම් නෙමෙයි ප්‍රශ්නෙ, මිනිස්සු වාහන ගන් නැත්තෙ සල්ලි නැති නිසාම නෙමෙයිනෙ)ඒ ප්‍රශ්නෙට උත්තරේ මම වැඩිය හිතන්න ගියෙ නැහැ.


ආයෙත් මම හිතුවා මගෙ විවිද පෙම්වතියන් ගැන. යම් යම් හේතු නිසා බ්‍රේකප් වුන. නිකමට හිතුව පලමු පෙම්වතිය අද කසාද බැදල හිටියනම් මොන වගේ යතාර්තයක මම ජීවත් වෙන්න තිබ්බද? අද මේ වගේ යන්නෙ දරුවෙක් මල්ලෙක් ඉන්න මම එනකම් ආදරෙන් බලන් ඉන්න බිරිදක් ඉන්න ගෙදරකටද? මම හිතුවා. ඒක එහෙම වෙන්නත් තිබ්බ නොවෙන්නත් තිබ්බා.


ඊලගට මම කල්පනා කලා මට විදේශයකින් ආව ශිෂ්යත්වයක් මම පිලිගත්තනම් මොනව වෙන්න තිබ්බද කියලා. එකක් ආව පශ්චාත් උපාධියට හන්ගේරියාවෙන් ඒ ප්‍රජානන (ප්‍රජනන නෙමෙයි) නියුරෝන විද්යාවට Cognitive Neuroscience ඒකට ගියෙ නැහැ. ඒක අර්ධ ශිෂ්යත්වයක්. අනික ඒක මම ඔහෙ නිකමට වගේ ඇප්ලයි කල එකක්. 

තව එකක් ආවා පින්ලන්තෙන්, ඒකට යන්න බැරි වුනා කොරෝනා පලවෙනි රැල්ලත් එක්ක. තව අපේ තාත්තා අසනීප වුනා. තව පූර්ණ ශිෂ්යත්වයක් ලැබුනා ඉන්දියාවෙ අන්ද්‍රා විශ්ව විද්යාලයෙන්. ඒකට ගියෙ නැහැ ඉන්දියාව නිසා. කොහොමත් පවුලෙ තනි දරුවා නිසා දෙමව්පියන් දාල යන්න හිත හදාගන්න බැරි වුනා. තාත්තා නැති වුනාට පස්සෙ අම්ම දාල යන්න කොහොමත් බැරි වුනා. ඒත් මම මගෙන් ඇහුව. හදිසියෙ හරි මම පින්ලන්තෙ ගියා නම්, හන්ගේරියාවෙ ගියානම්..... අද මාව මේ යතාර්තයේ ගොදුරක් වේවිද? මම එතනින් එහා ඒක හිතුවෙ නැහැ. ඒක එහෙම වෙන්නත් තිබ්බ නොවෙන්නත් තිබ්බා. සමහර විට වෙනත් යතාර්තයක ගොදුරක් වේවි.


ආයෙ මම කල්පනා කලා, මේ මොන යතාර්තයකදි වුනත් මගෙ තාත්තගෙ අවසානය වෙනකම් මම ඔහු වෙනුවෙන් සටන් කලා, ඊට පස්සෙ මගෙ අම්මගෙ හුස්ම ටික මගෙ අත් දෙක උඩදිම ගියා (අම්ම කිව්වා පුතේ මගෙ අතින් අල්ල ගන්න කියල, ඒ අම්ම අන්තිමට කිව්ව එක). ඒ දෙන්නගෙම අමාරු දවසෙ හරි දවස් වල හරි මම එයාල ලග හිටියා. මම ෆින්ලන්ඩ් වල හිටියනම් සුද්දියෙක් තියන් ආතල් එකේ ඉන්න තිබ්බා. හැබැයි මම මගෙ හර්ද සාක්ශියෙ සදාකාලික සිරකරුවෙකු වෙන්න ඉඩ තිබ්බා. මට කදුලුත් ආව මේව මතක් වෙද්දි. ඒත් කාටවත් පෙනුනෙ නැහැ. මොකද වැහි වතුර වලින් මගෙ මූණ හොදටම තෙමිලා.


ඊට පස්සෙ මම දැක්ක පොඩි උද්ගෝෂනයක් ජා ඇල දඩුගම පාලම හරියෙදි. මිනිස්සු වැස්සෙම උද්ගෝෂනය කරනවා. මම නිකමට හිතුවා. මේ යන්නෙ මගෙ මව් බිමේ අමාරුම කාලෙ, මගෙ අම්ම තාත්තගෙ අමාරු කාල වල මම එයාල වෙනුවෙන් පුලුවන් උපරිමය කලා ලග ඉදන්. දැන් මේ රට වෙනුවෙන් ඒ දේම කරන්න කාලෙ හරි. මේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් මම් ඉගෙන ගත්තා. මට හරිම ලේසියෙන් ශිෂ්යත්වයක් අරන් අර මම ආසම රටකට ආයෙ යන්න පුලුවන්. හැබැයි මේ යුතුකමත් ඉටු කරලා. මේ මිනිස්සු වෙනුවෙනුත් මේ රට වෙනුවෙනුත් පුලුවන් සාධාරනයක් ඉටු කරලා. අඩු ගානෙ මේ චෞරයන් එකෙක් දෙන්නෙක් හරි පන්නල දාලා. මේ පිලිකාවෙන් මේ රට පොඩ්ඩක් හරි මුදවගන්න උදව් කරලා. සමහර විට මම (අපි) දිනාවි. සමහර විට මම (අපි) පරදීවි. හැබැයි හර්ද සාක්ශිය මාව  (අපිව) නිදහස් කරාවි. මගේ (අපේ) යුතුකම අපි කලා කියල. දින්නොත්, ඔව් සමහරවිට අර මම ආසා රටකට යාවි. මම ආසා කරන කලාව, නිදහස, ආධ්යාත්මය පිරුනු නගරෙකට. පැරදුනොත්? නැහැ දිනනකම් සටන් කරනවා. කලාව, සාහිත්යය, නිදහස, ආධ්යාත්මය පිරුනු රටක් මේ භූමියෙම ගොඩ නගන්න. එහෙම වුනොත් සමහර විට මට එහෙම රටකට යන්න වුවමනාවකුත් ඇති නොවේවි. දැන් මගෙ අම්මත් නැහැ, තාත්තත් නැහැ. ඒත් මට බලාගන්න රටක් තියෙනවා. මහා සුන්දර රටක්. අම්මෙක් තාත්තෙක් වගේ මට සෙනෙහස දුන්න රටක්.


වැස්සෙම මම මේ සිතුවිලි එක්ක ආවා. මම අර කලින් කිව්ව හීන වලට නොයන්න ඇති. ඒත් මට් තේරෙනවා, මම, මම වත් නොදන්න ගමනාන්තයකට යනවා. මම මොන මොන පරිවර්තන වලට ඉදිරියෙදි ලක් වේවිද කියල මම දන් නැහැ. හැබැයි මම මේ නොදන්න ගමනාන්තයට යන ගමන එන්ජෝයි කරනවා. ඒක හරිම ඇඩ්වෙන්චරස්. වෙලාවකට හුදෙකලායි තමයි. ඒත් ඒක හරියට හෙමින්ග්වේගෙ නව කතාවකුයි මුරකාමිගෙ නවකතාවකුයි එකතු වුනා වගේ.


එච්චරයි......


දුලී.


No comments:

Post a Comment