Powered By Blogger

Wednesday, June 15, 2016

පළමු පෙම වෙත විද්‍යුත් ලිපියක්....





ආදරණීය සම්සාරා, 

මුලින්ම ඔයාට කියන්න ඕනේ, මම මේ කරන්නේ ඔයාට කරදරයක් නම් මට සමාවෙන්න. මාගේ මිතුරු ලක්ෂ්මන් ඔයාට ඊයේ දින මුණගැසුන බව ඔහු විසින් පැවසු පසු මාගේ ඇතුලාන්තයේ යම් තිගැස්සීමක් ඇති වීමෙන් පසු මෙය ලිවීමට සිතුනි. අපිට දැන් අවරුදු 27ත් වී හමාරය. ජීවිතේ බොහෝ දුරට සංකීර්ණ වී ඇති සෙයකි. හැම දේම වෙනස් වී ඇති සෙයකි. සමහර දේවල් වලින් ඉදිරියට යද්දී සමහර දේවල් යථාර්තය විසින් අපට අහිමි කර ඇත. රැකියාව, අධ්‍යාපනය, පව්ලක් වීම වෙනි සමාජ සම්මතයන් නිසා අපගේ සමහර සිහින වලට නැවතීමේ තිත තිබීමට සිදුවනු ඇත. ඔබ මෙන්ම මාගේ මිතුරන්ද බොහෝ දුරට වෙනස් වී ඇත. එහෙත් වාසනාවකට මෙන් ලක්ෂ්මන් මාත් සමග තවමත් රස්තියාදුවේ යෙදී සිටි. අප දැන් ලංකාවේ සැම තැනම රස්තියාදු ගසමු. මෙතෙක් ලංකාවේ කිසිම කෙනෙකු නොගිය තරම් අප රස්තියාදු ගසමු. මේ අතර විවිදාකාර මිනිසුන් සමග අපි අදහස් හුවමාරු කරගනිමු. දෙමල, මුස්ලිම්, වැදි මේ සියලුම ජාතියේ මිනිසුන් සමග අපි රස්තියාදු ගසමු. රැකියාවෙන් යම් මුදලක් ලැබේ නම් ඒ මුදලින් වැඩි ප්‍රතිශතයක් වෙන් වන්නේ මෝටර් සයිකලයේ ලංකාව වටේ රස්තියාදු ගැසීමටය. මේ යන බොහෝ ගමන් වලදී මට ඔබව මතක් වන්නේ මගේ ජීවිතයේ වැඩිම කාලයක් මා ආදරය කල සහ සැබවින්ම ආදරය කල සහ බොහෝ සුන්දර තැන් වල ආදරය කල එකම යුවතිය ඔබ වන හෙයිනි. මමයි ලක්ෂ්මනුයි තවමත් එසේ රස්තියාදු ගසද්දී මගේ එකල අනෙක් හොඳම මිතුරන් වූ, ප්‍රසිත දැන් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා එහි සිටී. නුවන්ද එහි සිට සිවිල් ඉංජිනේරු විද්‍යාව අවසන් වසර සිසුවෙකු ලෙස අද්‍යාපනය ලබයි. දහම් නැවක කපිතාන් කෙනෙකු වීමට බොහෝ ආසන්නව සිටි. මාගේ මවගේ අසනීප තත්වය නිසා මට මගේ ගමනේ වේගය අඩාල කිරීමට සිදුවීම හුදෙක්ම අවාසනාවක් ලෙස මම නොසිතමි. පව්ලේ එකම දරුවා නිසා සියල්ල මගේ කරමත තිබීම ගැටළුවක් ලෙස මම නොසිතමි. බොහෝ ඉගෙනගත් මිනිසුන්, සල්ලිකාරයන් දෙමව්පියන් අමතක කර වෙන රටවල් වල ගොස් මළගෙදරට පමණක් එද්දී, ඔව්න්ගේ හර්දසාක්ෂිය පසු කලෙක වින්දවනු ඇත. මම මාගේ හර්ද සාක්ෂියේ වහලෙකු වීමට අකමැති බැවින් මේ ජීවිතය මම පිලිගනිමි.

 පෘතුග්ජන මිනිසුන් සැප විඳීමට, මුදල් පසුපස යාමට කැමතිය. එය සාමාන්‍ය දෙයකි. මුදල් ලැබුනත් අප ජීවත් වන රාජ්‍යයේ අපට අවශ්‍ය ජීවත් වීමේ තත්වයන් හෝ නිදහස සම්පුර්ණයෙන් නොමැති නම් ඔව්න් වෙනත් රටවලට යාමට පෙළඹෙනු ඇත. එය ඔව්න්ගේ වැරද්දක් නොවේ. මිනිසුන්ට රටක් අවරුදු ගානක් 1948 සිට මේ දක්වා තිබු කසඩ දේශපාලනය කෙටිකලෙකින් වෙනස් කිරීමට නොහැකිය. ඔව්න්ගේ එකම විකල්පය වනුයේ රට හැරයාමය. මාහට අහිංසක සිහිනයක් ඇත. එනම් මා මිය යන්ට පෙර ලංකාව පළමු ලෝකයේ රටක් වනු දැකීමය. එවිට ලංකාවේ මිනිසුන් නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය හදාරා වෙනත් රාජ්‍ය වලට සේවය කිරීමට නොයනු ඇත. ලංකාවේ ගැහැනුන් මැද පෙරදිග ගොස් අසාධාරණයට ලක් නොවනු ඇත. ඔව්න්ගේ දරුවන් කුඩු කාරයන් ගණිකාවන් නොවනු ඇත. 

ගුවන් නියමුවෙකු වීමේ සිහිනයට කුමක් වුයේ දැයි ඔබ සිතනු ඇත. සම්සාරා, යථාර්තය අපගේ සමහර සිහින අපෙන් උදුරා ගන්නා බව කලින් කීවා වගේ මතකය. පරිගණක ඉංජිනේරු විද්‍යාව පිලිබඳ උපාදියක දෙවන අව්රුද්ද වෙන තුරු අර්ධ වශයෙන් හැදෑරු පසු හදිස්සියේ දුටු පත්තර දැන්වීමකට අනුව විවෘත විශ්ව විද්‍යාලයේ දේශපාලනය සහ අන්තර්ජාතික සම්බන්දතා පිලිබඳ උපාදියක් කිරීමට මාහට සිත්විය. ඇත්ත වශයෙන්ම මාගේ රැකියාවටවත් වෙනත් ප්‍රධාන පන්තියේ රැකියාවක නිරත වීමටවත් මින් මා සුදුසු කම් නොලබනු ඇත. එකම දේ උපාදිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරීම නිසා බාසාව දියුණු වීම පමණි. එහෙත් මෙහිදී මම ඉතා කැමැත්තෙන් මෙය හදාරමි. දර්ශනය සමාජ විද්‍යාත්මක ගවේෂණ මෙහි කොඳු නාරටිය වන බැවිනි. මාගේ රස්තියාදු ජීවිතය මට ලංකාවේ සමාජයේ ප්‍රයෝගික ප්‍රවේශය වුවමනාවටත් වඩා ලබා දී ඇති බැවින් අමතර ගවේෂණයක් අවශ්‍ය නොවේ යයි විටෙක සිතේ. තවද ජර්මන් බාසාවද හදාරමි. විශේෂයෙන්ම කාල් මාර්ක්ස්, සිග්මන් ප්‍රොයිඩ්, මැක්ස් වෙබර් වෙනි විද්වතුන් දාර්ශනිකයන් ගේ නිජබිමද වන ජර්මනිය, දේශපාලනිකමය වශයෙන්ද ලෝකයේ හැරවුම් ලක්ෂයක් වනු ඇත. බොහෝ දාර්ශනිකයන්ගේ විද්වතුන්ගේ පොත පත ලියවී ඇත්තේ ජර්මානු බාසාවෙන් බැවින් මෙය ඉගෙන ගැනීමට මාහට විශාල ආශාවක් තිබුණි. අනාගතයේ මම මොකෙක් වේ දැයි මම නොදනිමි. එහෙත් මාගේ අරමුණ කෙසේ හෝ ඉටු කරගැනීමට විශාල ආසාවක් ඇත. ලංකාවේ ආර්ථිකය , අධ්‍යාපනය, සමාජය, පුරවැසි ජීවන තත්වය, කලාව, තාක්ෂනය මේ සෑම දෙයක්ම පළමු ලෝකයේ රටක් මට්ටමට ගෙන ඒමට. මම සමාජ වාදියෙකු නොවෙමි. එහෙත් සර්ව ලිබරල් වදියෙකුද නොවෙමි. මේ දෙකේම අතර යම් තැනක මා පසු වන බව මට සිතේ. මේ දෙය කල එකම එක නායකයෙකු මම දැක ඇත. සිංගප්පුරුවේ ලී කුවාන් යු මහතා. මම ඔහුගේ නායකත්ව ලක්ෂණ සහ දර්ශනය යම් ප්‍රමාණයකට විශ්වාස කරමි. මේ අතර චේ ගුවේරා වන්නන්ගේ අව්‍යාජ මානුෂිකත්වය තුලින් අභිප්‍රේරණය වූ නායකත්වය.

මේ සියල්ල පිළිබඳව පවසද්දී මම ලොකු සීන් දානවා යයි ඔබට සිතෙනු ඇත. නැත මාගේ කිසිම ලොකු සීන් එකක් නැත. මා මුදල් ඉතිරි කරන්නෙකු නොවේ. මාහට තවම ඇත්තේ ඔබව දිනක පසුපස තබාගෙන රත්මලානේ ගුවන් තොටුපල ආසන්නයේ ධාවනය කල මෝටර්සයිකලය පමණි. ජීවිතය සංකීර්ණ වද්දී මගේ සිත සරල බව දෙසටම ඇදී යනු මට දැනේ. දැන් ඔබට තවත් ප්‍රශ්නයක් මතු වනු ඇත. මාහට කෙල්ලෙක් ඇතිද නැතිද යන්න වග. ජීවිතයේ මා දුටු අමාරුම දෙය මේ "ආත්ම සහකාරිය " සොයාගැනීම බව දැන් මට සිතේ. ජීවිතයේ උවමනා තරම් කෙල්ලන් හමු වී ඇත. ආශ්‍රය කර ඇත. දිනපතා හමුවනු ඇත. එහෙත් ඒ එකඳු කෙල්ලෙකුගේන්වත් මාගේ "ආත්ම සහකාරිය " වීමට අවශ්‍ය සුදුසුකම් මම නොදකී. මව් පියන් විසින් උවමනා තරම් යෝජනා ගෙන එයි. එහෙත් ඒ එකඳු කෙල්ලකගේන්වත් මම මාගේ "ආත්ම සහකාරිය" නොදකී. මේ සෑම කෙල්ලෙකුම හඹා යන්නේ එකම දේවල් කිහිපයකි. Posh වීම, Smart phone එකක් තුල ජීවත් වීම, අන් අයට තමන් සුපිරි කාරයක යන බව selfie ගසා පෙන්වීම, සමාජ ජාලා අඩවි තුලින් විවිදාකාර මිනිසුන් සමග  සුරතල් වීම.මේ එකදු ජීවිතයකවත් මා දකින "ආත්ම සහකාරිය" නොසිටිනු ඇත. මා ජීවිතයේ දැකපු එකම ආත්ම සහකාරිය ඔබම පමණි.  ඔව්න් එසේ වෙද්දී ඔබ බදාගෙන සිටියේ කැන්වසයක් සහ පින්සලකි. ඔබ කෙතරම් සුන්දරද, ඊටත් වඩා ඔබගේ නිර්මාණශීලීත්වය කෙතරම් සුන්දරද, ඔබගෙන් දුටු කලාකාරිය මම තවමත් කිසිවෙකුගෙන් දැක නැත. ඔබගේ සිහින් කට හඬ. මේ සියල්ල එකතුව දෙවියන් විසින් මවා ඇත්තේ පරිපුර්ණ නිර්මාණයකි. පරිපුර්ණ වූ කලා කෘතියකි. ඒ කලා කෘතිය මාගේ කරගැනීමට තරම් මා වාසනාවන්ත නොවුවද, මාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය ඒ කලා කෘතිය බව ඔබද මාද හොඳින්ම දනී. වර්තමාන පෙම්වතුන් හෝටල් රූම් සංස්කෘතිය තුල අතරමන් වෙද්දී අප දෙදෙනා අතරමන් වුයේ මධ්‍යම කඳුකරයේ සුන්දරත්වය තුලය. සංචාරය තුලය. මාහට ආඩම්බරකමක් දැනෙනුයේ වර්තමානයේ බොහෝ පෙම්වතුන් නොවිඳිනා වූ සුන්දරත්වයක් අප වින්දා යයි සිතෙන විටය. 

අවසානයේ යම් තැනක අපට වැරදුනි. එකල මනසට නොතේරන බොහෝ දේ දැන් තේරෙන්න ගෙන ඇත. ඔබට මම පරුෂ වෙද්දී, ඔබ මට "තමුසේ" කියාවත් ආමන්ත්‍රණය කර නොමැත. ජීවිතයේ කිසි දිනෙක ඔබ තරම් ඉවසන යුවතියක මම දැක නැත. ඔබට මෙවර උපන්දිනයට සුබ පැතීමට මට නොහැකි විය. මාගේ දුරකතනයේ සිදුවූ දෝෂයක් නිසා ඔබගේ නම්බරය මැකී ඇත. දිනක් මම ඔබගේ පියා සමග කතා කලෙමි. ඔහුට මා ගැන මතකයක් නොමැත. මම ඔබගේ පියා සමග ඔබගේ අත්තම්මා ගේ අවමගුල් ගෙදරදී කතා කල දින පටන් ඔහු මගේ සිතේ වීරයෙකු විය. ඔහු එදා මට දේශපාලනය, සමාජය, ලේඛනය ගැන කියූ බොහෝ දේ තවමත් මතකය. ඔහු ඒ සැම දේම පැවසුයේ මම ඔබගේ පෙම්වතා යයි නොදැනය. ඔහු මට හමු වුයේ එක දිනක් පමණක් වුවද ඔහු මට සැබෑම ගුරුවරයෙකු විය. 

මෙම ලිපියේ අරමුණ ඔබට තවමත් පැහැදිලි නැතුව ඇතුවාට සැකයක් නොමැත. ඔබ නැවතත් මගේ පෙම්වතිය නොවනු ඇත. ඔබගේ ජීවිතයට ප්‍රශ්නයක් වීමට මට අවැසි නැත. එහෙත්, ඔබ මාගේ ජීවිතයේ ඉදිරි ගමනට අවැසිය. පෙම්වතිය ලෙස හෝ බිරිඳ ලෙස නොවේ. "ආත්ම සහකාරිය" යනු පෙම්වතියම වීම අවශ්‍ය නොවනු ඇත. එහෙත් මාගේ මිතුරියක ලෙස. සමාජය උදෙසා මිනිසුන් උදෙසා මිනිසුන් උදෙසා යන ගමනේ සහකාරියක ලෙස, වැටීම්, නැගිටීම් හමුවේ මිතුරියක ලෙස. මේ සඳහා තනිව ගමන් කිරීම මට යම් අසීරුතවයකින් යුක්තවන අතර , නුසුදුසු පුද්ගලයන් හා මාව තේරුම් නොගන්නා පුද්ගලයන් සමග මුහු වීම ඊටත් වඩා අමාරු කරුණකි. ඔබ කැමතිනම් මට පිළිතුරු ලිපියක් එවනු මැනවි. 

ඔබට සුබ අනාගතයක් 

දුලිත 


(මෙය මා ඇයට සැබවින්ම යැවූ ලිපියක් වුවද නාමය වෙනස් කර සහ ඇයගේ පව්ද්ගලිකත්වයට ගැටළුවක් වන දෑ ඉවත් කර ඇත )

1 comment: