Powered By Blogger

Monday, May 30, 2016

සිහින, සම්මුතීන් සහ යථාර්තය

සිහින, සම්මුතීන් සහ යථාර්තය 



කලකට පසු ලිපියක් ලිවීමට සිතුනේ, කාලයක සිට මාගේ සිත සමග මමම එළඹ සිටි ද්වන්ද සංග්‍රාමයේ ප්‍රතිපලයක් ලෙසිනි. එම සංග්‍රාමයේ ජයග්‍රහණය හෝ පරාජය තීරණය කිරීමට තවමත් කාලය මදි යයි සිතේ. අද විශේෂ දිනයක් වනුයේ මා අද මාගේ 27 වන උපන්දිනය සමරන බැවිනි. සැබවින්ම අද දින මාහට ඇත්තේ සතුටක්ද දුකක්ද යන්න මේ ලිපියේ අවසනයයේ ඔබට සිතාගත හැකිවනු ඇත. අද දින වන විට මා කෙතරම් දුරට සාර්ථක වී ඇත්ද, මාගේ සිහින කරා මා හඹා ගොස් ඇත්ද, ඒවා ජයගෙන ඇත්ද එසේත් නැතිනම්, සමාජ සම්මුතීන් සහ යථාර්තය හමුවේ මා දන ගසා ඇත්ද, මා පැරදී ඇත්ද... මේ මාගේ සිත සහ හදවත එක්ව මාගෙන් අසන අසන ප්‍රශ්න කිහිපයකි. 

මොනවද මේ සිහින,

අපගේ ජීවිතයේ අප නොයෙකුත් දේවල් ලබා ගැනීමට හෝ ඉටුකර ගැනීමට සිහින දකිමු. කිසියම් වූ අභිප්රෙරනාත්මක සාධකයක් මේ සෑම සිහිනයක් පසු පසම ඇත. සමහරක් විට කිසියම් වූ දෙයකට ඇති නොනිමි ආශාවක්, ඔබව මෙහෙයවනු ඇත. එහෙත් මේ සිහින හඹා යාමේදී අපට තීරණාත්මක වන සාධක කිහිපයක්  බලපානු ඇත.  අප ජීවත් වන පරිසරය, ආශ්‍රය කරන මිතුරන්, දෙමව්පියන්, ගුරුවරු, ආදරය කරන අය, ආර්ථිකමය පසුබිම සහ අධ්‍යාපනික පසුබිම (සමහරක් අයට සෞක්යමය සාධක තිබිය හැක ) රටේ දේශපාලනමය ස්ථාවරත්වය වෙනි දෑ අපගේ මේ සිහින කරා හඹා යන ගමනේදී දැඩිව බලපානු ඇත. අපගෙන් අප 5 වසර ශිෂ්‍යත්වය ලියද්දි කිසිවෙකු ඇසුවොත් "පුතේ ඔබ මොනවගේ කෙනෙක් වෙන්නද  ඉන්නේ කියා" ඔබ වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවෙකු හෝ වෙනත් ඔබ ආසා කරන වුර්තියක් ඔබ පවසනු ඇත. ඔබ සාමාන්‍ය පෙළ ලියද්දි කෙනෙකු ඔබෙන් ඇසුවොත් ඔබ මොනවගේ වුර්තිකයෙකු වීමට සිහින දකින්නේ දැයි කියා කලින් වෛද්‍ය වරයෙකු වන්ට ආසා යයි කියූ පිරිසෙන් බොහෝ සුළුතරයක් පමණක් එම පිලිතුරම දෙනු ඇත. ඔබ උසස් පෙළ පළමුවර දෙවන වර ලියද්දි තවත් මේ ප්‍රතිශතය අඩුවනු ඇත. එහෙත් අවසානයේ ඔබට කිසියම් වූ රැකියාවක් හමු වනු ඇත. එහෙත් ඒ රැකියාවට ඔබ පැමිණියේ ඔබගේ සිහිනයට ඔබ අකමැති නිසාම නොවේ. සමහරවිට ඔබ ඒ රැකියාවට අවශ්‍ය සුදුසුකම් සපුරා නැති නිසාය. සමහර විට සුදුසුකම් ඇතත් මුදල් නොමතිකමින්ය. නැතහොත් සමාජ සමුතීන් සහ කාලය, යථාර්තය විසින් ඔබව පසුපසට අදින නිසාය. මාගේ ලිපියේ දෙවන භාගයට දැන් පැමිණෙමි.

මෙතනින් පසුව මදක් මම මාගේ පව්ද්ගලික ජීවිතයෙන් උදාහරණ කිහිපයක් ගැනීමට පසුබට නොවෙමි. 

මාගේ ජීවිතයේ පළමු සිහිනය වුයේ තාරකා විද්‍යාව පිලිබඳ විද්වතෙකු වීමටයි. ඒ මට අවරුදු 10 දී පමණය. එයට පාදක වුයේ මා පාසල් ගිය van රථයේ මා අසලින් සිටි එවකට සාමාන්‍ය පෙළ කල මාගේ ප්‍රදේශයේ සිටි රත්නාවලී බාලිකාවට ගිය අක්කා කෙනෙකු නිසාය. ඇය නිතරම ඇයගේ නෑදෑයකු වන තාරකා විද්වතෙකු ( Astronomy Scientist ) වන දැනට ඇමෙරිකාවේ මහාචාර්ය කෙනෙකු සහ Pennsylvania University හි ආචාර්ය උපාධි දාරියෙකු වන Prf Thulsi Wikramasingha (Phd in Theoratical Cosmology & Gravitation) අයියා ගැන නිතරම මා හා පැවසීමයි. ඔහු එකල මාගේ වීරයා විය. විශ්වය, අහස , විද්‍යාව මේ දේවල් වලට ආසා කරන්නට පෙළඹුනේ එකලය. මේ විද්‍යාවට තිබු ආසාව නිසාම විදුසර පත්තරය මාගේ ප්‍රියතම පුවත්පත විය.මම 8වසර 9වසර වනවිට තදින්ම Prf නලින් ද සිල්වා ගේ "අපේ ප්‍රවාද" තීරය කියවීමට ඇබ්බැහි වී තිබුණි. තවද එක දිනක් ලාංකීය භාව්තික විද්‍යාව පිළිබඳව  මහාචාර්ය වරයෙකු හා වාමාංශික දේශපාලනය පිලිබඳ ක්‍රියා ධරයෙකු වූ දිවංගත මහාචාර්ය ඔස්මන් ජයරත්න මහතාට දුරකථන ඇමතුමක් ගෙන "sir භෞතික විද්‍යාව සහ මාර්කස් වාදය අතර ඇති සම්බන්දය කියල දෙන්න පුලුවන්ද?" කියා ඇසුවා මතකය ඇත්තෙන්ම එකල මා භෞතික විද්‍යාව හෝ මාර්කස් වාදය ගැන මෙලෝ දැනුමක් තිබුණු අයෙක් නොවුනි. විදුසර පුවත්පතේ තිබු එතුමාගේ නම්බරය මාගේ කුතුහලය අවිස්සුවේය. මම 9 වසරේ වගේ ඉන්ට ඇත. පසුකලෙක මා කුතුහලයට පත්කළ තවත් විෂයක් වුයේ අධි මනොවිද්යවයි (Parapsychology). 2003 අව්රුද්දේ කඳුබොඩ ජාතන්තර භාවනා මධ්‍යස්ථානයේ නායක ස්වාමින්වහන්සේ වශයෙන් වැඩ සිටි මඩවල උපාලි ස්ථවිරයන් විසින් පලකරන ලද "අධිමනොවිද්යාව්" නම් පොත කියවූ මම භාවනා මධ්‍යස්ථානයට ගොස් උන්වහන්සේ හමු වීමි. එහිදී උන්වහන්සේ විසින් විවිද පරීක්ෂණ කරන බව මට දැකගන්නට ලැබුණි. මේ සඳහා කොළඹ විශ්ව විද්යාලයේ මහාචාර්ය චන්දන ජයරත්නයන්ද සහභාගී විය. ouja board එකෙන් බුතයන් අල්ලන සැටි, භාවනාවෙන් මනසට වෙන විපර්යාස වෙනි දෑ එහිදී පරීක්ෂණයට ලක්විණි. මෙහිදී සිදු වූ විශේෂතම සිදු වීමක් නම් මගේ පසුකලෙක හොඳම මිතුරෙකු සහ ගමන් සගයා වූ ලක්ෂ්මන් චෞධ්රි සහෝදරයා හමුවීමයි. මම එකල 9 වසරේ සිසුවෙක් වීමි. මේ සිදුවීම් සහ අභිප්රෙරනාත්මක සාධක නිසා මා "විද්‍යාවට" පෙම් බැන්දෙමි.

තවද මාගේ පියාගේ මිතුරෙකු වූ "ජයකොඩි" මාමා මාගේ අනෙක් තීරණාත්මක සාධකය විය. ඔහු යුරෝපයේ අවරුදු ගණනාවක් ජීවත්ව රටවල් 12ක පමණ ගොඩබිමින් සංචාරය කල සැබෑම ගවේශකයෙකු විය. ඔහු එකල නිතරම අපේ ගෙදර පැමිණියේ ඔහුට මාගේ පියා විසින් මගුලක් ජෝඩු කිරීම නිසාය. ඔහු කෙතරම් ලොව පුරා ඇවිද්දත් ඉතිරි කරගත් මහා දනස්කන්දයක් නොතිබුණි. කිසිම රටක පුරවැසි භාවයක් ගැන හෝ ඔහු උනන්දු වී නොමැත. එහෙත් ඔහු ලේකකයෙකු ලෙස පොත් කිහිපයක් ලියා තිබුණි. සංචාරක අත්දැකීම් ගැන. ඔහු අපේ ගෙදර පැමිණි විට නිතරම ජාත්‍යන්තර දැනුම මට කියාදෙයි. ලෝකයේ රටවල දේශපාලනිකමය හා භූගෝලීය දැනුම ඔහු මෙලෙස පැය ගණන් මට කියා දෙයි. ඔහුටම උරුම වූ වාග් ශෛලිය සහ මුහුණේ ඉරියවු සිදුවීමට අනුකුලව නාට්‍යනු සාරයෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව නිසා මේ ලෝක කතන්දර ගැන කුතුහලය තදින්ම මට ඇතිවී තිබුණි. අවසානයේ "ජයකොඩි මාමා" නිසා මට සංචාරය පිලිබඳ ඇල්ම තදින්ම ඇති විය. ඔහුගේ දර්ශනය වුයේ ඇවිදීමයි. එක රටක දීර්ගකාලීනව සිටීමට ආසාවක් ඔහුට නොතිබුණි. මා අදටත් ඔහුට ගරු කරමි. අදටත් ඔහුගේ කතන්දර ඇසීමට අසා කරමි. Wikipedia නොතිබුණු එකල Wikipedia වුයේ ඔහුය. ඊශ්‍රායලයේ සිට මෙහෙයවූ "Operation Thunderbolt" වෙනි මෙහෙයුම්, Jonathan Yoni Nethanyahu වෙනි විරුවන් ගැන Mossad වෙනි බුද්ධි අංශ ගැන මුලින්ම මම ඇසුවේ ඔහුගෙන්ය.  ඔහුගෙන් මාගේ අසාවන් ගොන්නට "සංචාරය" එකතු විනි. 

එකල සිට අද වන තුරු පුරුද්දක්ව තිබු Sunday Observer පුවත්පත මාගේ ජීවිතයේ අනෙක් වැදගත්ම සාධකය වී තිබුණි. වාසනාවකට මාගේ පියා එම පුවත්පතේම පුවත්පත් කලාවේදියෙකු ලෙස සේවය කල බැවින් එය නොමිලේම එකල මට කියවන්ට ලැබුණි. එක දිනක් 2003 අව්රුද්දේ අග බාගය වන්ට ඇත. මම එක්තරා දැන්වීමක් දුටුවෙමි. ඒ දැන්වීම පල කර තිබුනේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසිනි. දැන්වීමේ තිබුනේ ඇමෙරිකාවේ ගුවන් හමුදා ඇකඩමියේ (US Airforce Academy ) ශිෂ්‍යත්වයක් පිළිබඳවයි. ගුවන් ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට අවරුදු 4කට. මේ  දැන්වීම මාගේ කුතුහලය වෙනතකට යොමු කරන්ට විය. "ගුවන් යානා" මාගේ නවතම ප්‍රේමය විය. ඇත්තටම මම ගුවන්තොටුපලකට ජීවිතේට ගොස් තිබුනේ නැත. මාගේ පරම්පරාවේ හෝ නෑදෑයන් කිසිවෙකුත් මේ ශේෂ්ත්රයේ සිටියේ නැත. ගුවන් යානා වලට ආසා කිරීමට මුලික හේතුන් වුයේ, එහි ඇති විශ්මයජනක භාවයත්, ගුවන් යානා පැදවීමේදී ලැබෙන්නාවූ සුන්දර අත්දැකීමත් නිසාය (උපකල්පිත). මාගේ මනස , ශක්තිය , සිහින , ඉලක්ක සියල්ල ගුවන්යානා දෙසට විතැන් විය. රත්මලානේ පව්ද්ගලික ගුවන් පාසලක පාසල් නිවාඩු කාලයේ පවත්වනු ලබන "Holiday Course" එකකට යාමට කෙසේ හෝ ගෙදරින් අවසර ගතිමි. මාගේ පියා දැඩි සම්ප්‍රදායික මත දාරියෙකු බැවින් මේ දින 5 පටමාලාව කිරීමටද මට ගෙදර විප්ලවයක් කිරීමට සිදුවිය. කෙසේ හෝ යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂනිකයෙකු වූ මගේ ලොකු මාමා (දැනට ජීවතුන් අතර නොමැත .)ගේ පෙරැත්ත නිසාම මාගේ පියා මට එය කිරීමට අවස්ථාව  ලබාදුනි. 2004 අවුරුද්දේ විය. 

                                                                      "ලෝකය පිලිබඳ හැදෑරීම, සංචාරය, විද්‍යාව, ගුවන්යානා, අභියෝග, වික්‍රමාන්විත ක්‍රියා " මේ සාධක දැඩි වශයෙන් මාගේ මනසට කාවැදී තිබුණි. මේ සියල්ලන්ටම ගැලපෙන්නා වූ වුර්තිය "ගුවන් නියමුවෙකු" වීම යයි මම තේරුම් ගතිමි. එහෙත් ටික කලක් ඇතුලත තවත් දෙයක් තේරුම් ගතිමි. එනම් ලංකාවේ ගුවන් නියමුවෙකු වීමට නම් එක්කෝ ගුවන් හමුදාවට බැඳිය යුතු විය, නැතහොත් සල්ලි යහමින් ගැවසෙන පව්ලක උපත ලබා තිබිය යුතු විය. ගුවන් හමුදාවට බැඳීමට දෙමව්පියන් අකමැති වනවා යන්න මා මුල සිටම අවබෝද කරගෙන තිබුනේ මම පව්ලේ එකම දරුවා සහ යුද්දය එකල තිබුණු බැවිනි. මාසික වේතනය 30ක් 40ක් (එකල) ගන්නා පත්තරකාරයෙක්ගේ පුතෙකුට ජාතික ගුවන් සේවයේ ගුවන් නියමුවෙකු වීම සැබවින්ම සිහිනයකි. එහෙත් සිහිනය අමතක නොකලෙමි. සිහිනයේ ජීවත් වීමෙන් පමණක් පලක් නොමැත. වැඩ කල යුතුමය. මාගේ ලිපියේ දෙවන බාගය  මෙතනින් අවසන් කරමි. 

ජීවිතය නොයෙකුත් හැල හැප්පීම් උස්පහත් වීම් මැද්දේ ගලා ගියේය. ආදරය, වෛය්රය, දුක, සතුට සියල්ල විඳිමින් දන්නේම නැතුව වයස 27ත් විය. සැබවින්ම මා සිහිනය ජයගත්තෙමිද?

නැතහොත් යථාර්තය සහ සමාජ සම්මුතීන් විසින් මාව වට්ටා දැමුවේද ?

ජීවිතයේ අප කුඩා කල සිතන ප්‍රර්ථනා කරන සියල්ල ඉටු කර ගැනීම පහසු නොවනු ඇත. "කාලය , යථාර්තය සහ සමාජ සම්මුතීන් " විසින් අපට පහර දෙනු ඇත. මොනවද මේ සමාජ සම්මුතීන්? අප මිනිසුන් වශයෙන් කසාදයක් බැඳ ළමයි සාදා ගෙයක් දොරක් සාදා ගැනීම ප්‍රදනතම සම්මුතියකි. මේ සම්මුතියෙන් බැහැර වන්නන් "පරාජිතයන්, නරක මිනිසුන්, පිස්සන් හෝ වෙනත් නමකින්" හංවඩු ගසනු ඇත. උදාහරණයක් ලෙස මම දෙබසක් යොදාගන්නෙමි.

"එයාට මොනවා තිබ්බත් වැඩක් නැනේ, ලමෙක් ගැණියෙක් නැතුව, කවදාහරි මේ හම්බ කරන ඒවා කාටද, කවදාහරි වයසට ගිය දවසට බලාගන්නේ කව්ද ? " වශයෙන්. 
මේ  දේවල් සැබෑවක් විය හැක. එහෙත් බොහෝ මිනිසුන් තම තරුණ වියේ මධ්‍යම කාලය වන විට සිහින සම්පුර්ණයෙන්ම අමතක කර දමා තනිකරම සමාජ සම්මුතීන් විසින් වෙලාගනු ලබයි. ඔව්න්ගේ සිහින තවදුරටත් සිහින නොවේ,සමාජ සම්මුතීන් ඔව්න් සිහින ලෙස දකින්ට ගනී. ඔව්න් "ඕව ඉතින් පොඩි කාලේ හිතන දේවල්නේ, දැන් ඉතින් ජීවිතේට මුණ දෙන්න ඕනේ, මොකක් හරි ජොබ් එකක් සෙට්  කරන් පව්ලක් හදාගෙන ගෙයක් දොරක් හදාගන්න ඕනේ. මිනිස්සු මොනවා නොකියයිද", අවසානයේ ඔව්න් සමාජ සම්මුතීන් ඉදිරියේ සිහින පාවා දෙනු ඇත.

මිනිසෙකුට ගෙයක් දොරක් වහනයක් ගැනියෙක් ඕනෙම විය හැක. එහෙත් එම මුලික අවශ්‍යතාවයන් උදෙසා අපගේ ජීවිතමය දැක්ම, සිහින පාවා දෙන්නේ නම් ඔහු හෝ ඇය කරගන්නේ තමාටම විශාල අසාදාරනයක් නොවේද. අවසානයේ ඔව්න්ට ජීවිත කාලයක් ගෙවන්නට තිබෙන නිවාස ණයක්, ෆිනෑන්ස් කල වහනයක් සහ අතෘප්තකර සහකාරියක සහ ළමයෙකු දෙන්නෙකු ඉතිරිවනු ඇත. අවසානයේ මාරයා විසින් නොමිලේ හර්දයබධයක්ද ලැබෙනු ඇත. උවමනා තරම් මෙසේ මිනිසුන් මට හමුවී ඇත. "මම ඉස්සර අසයි wild life photography වලට, campus ඉන්න කාලේ යාළුවොත් එක්ක කලා. ඊට පස්සේ ජොබ් එකක් හොයාගන්න try කළා. ජොබ් එක සෙට් උනගමන් කසාද බැඳගන්නැයි උවමනා කලේ, බැන්දට පස්සේ ළමයි හදන්න. ඊට පස්සේ උන්ගේ ශිෂ්‍යත්වේ, සාමාන්‍ය පෙළ, උසස් පෙළ. මේ අතරේ ගෙවල් හදන්න, වාහන වල finance ගෙවන්න. අඩු ගානේ wife එක්ක කතා කරන්න වත් වෙලාවක් නැහැ. එයා එනකොට 7යි. මම එනකොට 8යි. ඊටපස්සේ ළමයින්ගේ වැඩ. නිදාගන්නකොට 12ත් පැනල. " 

මේ මම අසපු එක පුද්ගලයෙක්ගේ දෙබසක් පමණි. තවත් මෙවැනි කතන්දර උවමනා තරම් අසා ඇත. 

සිතන්න "මේ ජීවිතේද?" 

මොහු ජීවිතේ විඳිනවද වින්දවනවද? මේ සම්මුතීන් ජීවිතේට අත්‍යවශ්‍ය බව නොරහසකි. එහෙත් සම්පුර්ණයෙන්ම මේ සම්මුතීන් විසින් ජීවිතය ගිල දමා ඇත. සිහින ගිල දමා ඇත. ජීවිතයේ සුන්දරත්වය, ලෝකයේ සුන්දරත්වය , කලාවේ සුන්දරත්වය විඳීමට ඔහුට කාලය නොමැත, මුදල් නොමැත. ඔහුගේ දරුවන්වද එම මාර්ගයේම ගමන් කිරීමට පටන් ගතහොත්, දරුවන්ගේ දරුවනුත්.....

තවකෙක් කියනු ඇත... "මල්ලී මේක තමයි ජීවිතය..... ඕකට මුණ දීපන්..... " මම ඔහුත් සමග තර්ක නොකරමි. ඔහුට මාව මෝඩයෙකු සේ පෙනෙනු ඇත. මට ඔහුව මෝඩයෙකු සේ පෙනෙනු ඇත. ඔහු සමහරවිට ජීවිතයේ සිහින දකින්න ඇත්තේ මේ "අනිවාර්ය" සම්මුතීන් සිහින ලෙස වටහාගෙන විය හැකිය. දැන් ඔහුට නිවසක් ගෙයක් ගැහැනියක් වහනයක් ඇත. මින් ඉදිරියට ඔහුට සිහින නොමැත. මා මේ ලිපිය ලියන්නේ අනිවාර්ය සම්මුතීන් තම සිහින කරගත් මිනිසුන් වෙනුවෙන් නොවේ.මුල සිටම ජීවිතයේ දැක්මක්, යම් පමණකට හෝ ජීවත්වීමේ රසවින්දනයක් ඇති මිනිසුන් වෙනුවෙනි. ජීවත් වීමේ රසවින්දනය යනු අරක්කු බෝතලයක් වටේ සිට එය ඉවර කර, එක එකා ගැන ඕපාදුප කීම, සින්දුවක් දෙකක් කියා විසිර යාමද නොවේ . මමද අමධ්‍යප නොවේ. එහෙත් මීට එහා අපට ලෝකයේ බොහෝ ආශ්චර්යමත් දේවල් විඳීමට ඇත. කලාව, සංචාරය, සංගීතය සහ අධ්‍යාත්මය, මේ  සැම දේම සම්මිශ්‍රණයක් තිබේ නම් මම එහි ජීවිතයේ විඳීම දකී. 

මේ දේවල් කිරීමට අපට සිතන තරම් මුදල් අවශ්‍ය නොවනු ඇත. සමහරවිට මුදලක් අවශ්‍ය නොවනුම ඇත. අවශ්‍ය වනුයේ "කාලය සහ අවශ්‍යතාවය පමණි". සමාජ සම්මුතීන් තුලින් ඔබව දන ගැස්සවූ විට මානසික ආතතිය විසින් ඔබව වෙලා ගනු ඇත. මීළඟට ශාරීරික අබාධ වැලන්දෙනු ඇත. සැබෑවකි අපට සැමදා නිරෝගිව සිටිය හැකි නොවේ. එහෙත් උත්සහ කල හැක.


"යථාර්තය සහ යුතුකම් " 

සිහින කරා යන ගමනේ අපට හමුවන භයානකම සතුරා "යථාර්තය" ලෙස මා දකී. සම්මුතීන් යනු අපට මදක් හෝ වෙනස් කල හැකි, හෝ අර්ධ වශයෙන්  බැහැර කල හැකි දෙයකි. එහෙත් යථාර්තය අපට වෙනස් කල නොහැක. ඉවසන්න මම මාගේ ජීවිතය තුලින්ම උදාහරණයක් ගන්නම්.

ගුවන් නියමුවෙකු වීමේ සිහිනය පසුපස හඹා ගිය මා අවසානයේ නැවතුනේ ගුවන් තොටුපල සැලකිව යුතු රැකියාවක් සොයා ගනිමිනි. එය මාගේ දෙමව්පියන්ට ඉහටත් උඩින්ය. මා විශ්වාස කරන්නේ, අහස අල්ලන්න ගිය නිසා මම පොල් ගසෙන් නැවතුන බවය. එහෙත් මේ මගේ සිහිනය නොවේ. තවමත් ලක්ෂ 70ක් 80ක් සෙවීම ලංකාවේ සිට ලෙහෙසි ඉලක්කයක් නොවනු ඇත (ගුවන් නියමුවෙකු වීමේ වර්තමාන වියදම). එහෙත් එය ලෙහෙසි කරගැනීමේ අවස්ථා මට උවමනා තරම් තිබී ඇත. වෙනත්  රටකට ගොස් අව්රුදු දෙකක් වැඩ කලා නම් ලක්ෂ 40ක් විතර සොයාගැනීමට තිබුණි. එහෙත් යථාර්තය සහ යුතුකම් විසින් මාව දන ගස්වනු ලැබිණි. එනම් පව්ලේ තනි දරුවා සහ අසනීපයෙන් පසුවන මව සහ තවමත් සම්ප්‍රදායික ජීවිතයක් ගතකිරීමට කැමති පියා ලංකාවේ දමා යාමට තරම් මාගේ සිහින මට වැදගත් නොවන බැවිනි. යථාර්තය විසින් මාව දනගස්සවා ඇත. 

එහෙත්.......

ජීවිත් වීම නම් කලාව සුන්දර වන්නේ, එම කලාවේ උත්කෘෂ්ටතාවය (Sublime) වැඩි වන්නේ, එම කලාවේ සරලබව පසුපස ඇති සංකීර්ණත්වය තුල යයි මම දකී. සියල්ල සතුටින් සිදුවන්නේ නම් එහිද ජීවිතයක් නොමැත, සියල්ල දුකින් කෙලවර වෙයි නම් එහිද ජීවිතයක් නොමැත. මිනිසා ලොව රජයන්නේ, මිනිසා හට ඉතිහාසය විසින් ලබාදුන් සියලු අභියෝග ජයගත් බැවිනි. මිනිසා සාර්ථකව අනුවර්තනය වෙමින් නව්‍යකරණය වූ බැවිනි. එසේ නොමැති නම් මිනිසා තවමත් ගල් යුගයේ පසුවනු ඇත. යථාර්තය විසින් අපව දනගස්වාද්දී, අප එයට යම් ප්‍රතිරෝධයක් නොදක්වා සිටිය යුතු නැත යයි මා සිතමි. සමහරවිට යම් නව්‍ය සිතුවිල්ලක් අපව නොසිතන මානයකට රැගෙන යනු ඇත. එහිදී යථාර්තය පරාජය විය හැක. "විය හැක...." ඔව්, මමත් තවම උත්සහ ගනිමි, යථාර්තය හමුවේ නැගී සිටීමට එහෙත් යුතුකම් අමතක නොකරමින්. යථාර්තය සහ අනිවාර්ය සමාජ සම්මුතීන් අප විසින් ප්‍රතිශතාත්මකව පිළිගත යුතුව ඇත. එහෙත් අපගේ සිහින ඒවා උදෙසා පාවා නොදීමට තරම් අප Smart විය යුතුය, සහ සිහින පසු පසම හඹා ගොස් අවසානයේ පසුතැවී , යුතුකම් මගහැර දුක්වීමට තරම් අප මුග්ධ (Dumb) විය යුතු නැත. 

අවසානයේ කිව යුත්තේ, අප කිසිවෙකු සර්ව සම්පුර්ණ සහ සර්ව සමාන නොවේ. එහෙයින් මා ගොඩ නැගු ප්‍රස්තුතයන් සියල්ලන්ටම අදාල විය නොහැක. මම කිසිවෙකුත් සමග ජීවත් වීමේ කලාව පිලිබඳ තර්ක නොකරන්නේ එම හේතුව නිසාය. එහෙත් මා  ලඟින් සිටින හිතවතුන්ව යම් යම් දේ කිරීමට අභිප්‍රේරණය කරන්නේ සමහරවිට ඔව්න්ට එම අභිප්‍රේරණය තුලින් ඔවුන්ගේ සැබෑ වින්දනය කරා යාමට හැකිවේ යයි යන අහිංසක උපකල්පනය තුල සිටගෙනය.

Dulitha Kasun



Thursday, March 17, 2016

මම කළු චරිතයක්ද , සුදු චරිතයක්ද

මම කළු චරිතයක්ද , සුදු චරිතයක්ද

මම යනු මා හොඳින්ම දන්නා පුද්ගලයා වේ. මම ගැන මට ආසන්න මට්ටමට හෝ දන්නා කිහිප දෙනා අතර මගේ මව පියා , මාගේ හොඳම මිතුරන් කිහිප දෙනා හා  මාගේ පළමු ප්‍රෙමය ප්‍රධාන තැනක් ගනී. සැබවින්ම මම කළු චරිතයක්ද සුදු චරිතයක්ද යන්න මා මගෙන්ම නිතරම අසන ප්‍රශ්නයක් වේ. බැලු බැල්මට එය ඉතා මෝඩ සහ සුළු ප්‍රශ්නයක් බව පෙනෙනු ඇත. මා මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ එක්තරා පිරිසක් වෙනුවෙනි. එනම් සමහර අප අතර සිටින මිනිසුන් ඔව්න්ගේ හර්දසාක්ෂියේ සිරකරුවන් වී සිටින්නේ මේ ප්‍රශ්නයට පිළිතුර සොයාගත නොහැකිවය. උදාහරණයක් ලෙස සිතමු, අප අතර සිටින කුඩු, ගංජා ගසන සොහොයුරෙකු සහ ගණිකා නිවාසයක සිටින අවරුදු 19ක යුවතියක්. "ඔහු" ඇබ්බැහි වී ඇත්තේ මත්ද්රව්‍යකටය, "ඇය" ඇබ්බැහි වී ඇත්තේ මුදලටය. නැතහොත් ඇයට නඩත්තු කරන්න පව්ලක් ඇති බැවින් සහ ඇය සතුව ඇති එකම මුදල් සෙවිය හැකි එකම දෙය ඇයගේ ශරීරය බැවින්. ඔහුට මත්ද්‍රව්‍ය වලට යොමු වීමට හේතු තිබෙන්නට ඇත. සමාජ විද්‍යාත්මක හෝ මානසික ගැටළු නැතහොත් පාරිසරිකමය සාධක නිසා ඔහු මේවට යොමුවන්ට ඇත. ඔව්න් කළු චරිත ලෙස සමාජය හංවඩු ගසා තිබෙන්නේ ඔව්න්ගේ සමාජමය සහ මනසිකමය යථාර්තය තේරුම් ගැනීමට තරම් මුහුකුරා ගිය හෝ පුළුල් බුද්ධියක් නැති මිනිසුන්ය. සැබවින්ම කළු චරිත වන්නේ ඔව්න්ව මේ තැනට ගෙන ආ මිනිසුන්ය. ඔව්න්ගේ හර්දසාක්ෂිය නිරතුරුව ඔව්න්ට පවසන්නේ "දැන් උඹ වලට වැටිලා ඉවරයි, දැන් මේ විදියට ඉන්න ටිකත් ජීවත් වෙමු"..... යන්නයි.

 දැන් නැවතත් මම එන්නම් "මම" කියන චරිතය දෙසට ,

මම සුදු චරිතයක්ද නැතහොත් කළු චරිතයක්ද,

සාමාන්‍යයෙන් "මම" යන චරිතයේ මා දුටු වැරදි සහ මාගේ හර්දසක්ෂියේ මා සිරකරුවෙකු වූ සමහරක් තැන් මා මෙහිදී පාපොච්චාරණය කරන්නෙමි.

මම කුකුල් කේන්ති කරයෙක්මි. තරහ ගියහම ඉන්න තැනත් අමතක වෙන, මා හරි කියන දෙය වැරදි කියා අම්මා තාත්ත කිව්වත් ඔව්න් සමග තර්ක කර රණ්ඩු කරන තැන් ඒමට මාගේ ජීවිතයේ තිබුණි. තවමත් ඉඳහිට එය සිදු වෙන දෙයකි.

මා දෙමව්පියන්ට බොරු කර ඇති අවස්ථා එමටය - ඒවා බොහෝ විට ප්‍රථම ප්‍රෙමය සිදු කරද්දී සිදු කල බොරුය. (දැන්නම් අරක්කු ටිකක් බොන්නෙත් අම්මට කියායි )

මොකක් ? ඔව් මම කියන පුද්ගලයා අමධ්‍යප පුද්ගලයෙක් නොවේ.

එසේනම් ඉහල සාධක උපයෝගී කරගෙන බලමු මම කළු චරිතයක්ද සුදු චරිතයක් ද  කියා....

මට තරහ යයි, තරහ ගියවිට උන්හිටි තැන් අමතක වෙයි - ( තරහ යාම නිසා සමාජයට හානියක් වන්නේ නම් එය ප්‍රතිකාර ගත යුතු මානසික රෝගයකි, එහෙත් මනෝවිද්‍යාවේදී යම් මට්ටමකට තරහ යාම පව්රුශයේ (Personality Characteristic) ලක්ෂණයකි.) මම තරහ යාමේ අවශ්‍ය මට්ටමට වඩා ගිය තැන් ඕනෑවටත් වඩා ඇත. එහෙත් බොහෝ විට ඒ අවස්ථා වල භෞතිකමය හිංසනය සමග තරහව මිශ්‍ර නොකර ගැනීමට මම වග බලා ගනී. මම දෙමව්පියන් සමග, මාගේ පෙර පෙම්වතියන් සමග උවමනාවටත් වඩා රණ්ඩු වී ඇත. ඒවා ඇසුණු පිට මිනිසුන් මොහු කාලකන්නි පුතෙකු සහ නපුරු පෙම්වතෙකු ලෙස මාව ඕනේ තරම් හම්වඩු ගසන්ට ඇත. මාගේ ලඟින්ම ආදරය කල බොහෝ දේනා මගෙන් ඇත් වන්නට ඇත. එහෙත් මම මත්වතුර නිසා කිසිදා තරහ යන පුද්ගලයෙක් නොවෙමි. මාගේ තරහවට බොහෝ විට හේතු පාදක වී තිබුනේ යමෙකු මට "බොරුවක්" කලා කියන හැංගීම හෝ "අසාදාරනයක් " කලා කියන හන්ගීමය. නතොහොත් අධික සැකයය. ලෝකයේ මිනිසුන් යම් යම් හැකියාවන් සහ නොහැකියාවන් සමග උපදී. සමහරක් ගණිතයට දක්ෂ ලෙසද සමහරෙකු කලාවට දක්ෂයෙකු ලෙසද උපත ලබයි. සමහරෙකු මේ අතර බාහිර සංවේදන වලට අධි සංවේදීතාවයකින් යුක්තව උපත ලබයි. උදාහරණයක් ලෙස බලන්න. සමහර මිනිසුන් තවකෙකුගේ අංග චලනයන් වලින් මොහු කිනම් පුද්ගලයෙක්ද කියා කියන්ට දක්ෂය (Body Language Experts). විවිධාකාර විධ්යාවන් කලාවන් එකට සම්බන්ද කිරීමට උත්සහ ගනී. මේවගේ ඔබට බාහිර සංවේදීතාවය වැඩි මට්ටමකට දැනෙන විට, ඔබ බොහෝ දේවල් සිතන්ට ගනී. ඔබ සියලුම වර්ගයේ කලා කෘතීන් ආත්මීය ලෙස වින්දනය කරන්නට ගනී. ඔබගේ විභවය (Potential ) ඉතා දැඩි මට්ටමක ගනී. ඒ විභවය සහ අධි සිතීම Overthinking තුලින් ඔබ බොහෝ නොදුටු දේ දකින්න උත්සහ කරයි. මේ ඔබට තිබෙන අධි සංවේදීතාවයේ ඍණ අතුරුපලයකි. මනෝ වෛද්‍ය විද්‍යාවේදී මෙවැනි ලක්ෂණ තුලින් ඔබට දැනෙන දේවල් Paranoid/ Anxity (කාන්සාව) , Othelo Syndrome(අධික සැකය),  වෙනි නම් වලින් හඳුන්වයි. මේවා රෝග ලෙස ඔව්න් හඳුන්වන්නේ, මෙවැනි ලක්ෂණ තුලින් ඔබගෙන් සමාජයට හෝ ඔබටම ගැටළුවක් විය හැකි බැවිනි. මාගේ ජීවිතයේ විවිධාකාර බුද්ධිමය හැකියාවන් සහිත පුද්ගලයන් දැක ඇත. මේ බොහෝ දෙනෙක් යම් යම් මනසිකමය ගැටළු වලින් ජීවිතේ යම් කලෙක හෝ තවමත් ඉඳහිට දුක් වින්ද ඇත.

හරි, දැන් විද්‍යාත්මක පසුබිම අමතක කර නැවතත් පෙර ගැටලුවට එමු. මම කළු චරිතයක්ද සුදු චරිතයක්ද,

ඉහත දැක්වූ තරහ යාම මාගේ පසු බිම තුල ඇත. එහෙත් මම එම තරහව කෙසේ හෝ පාලනය කරගන්න උත්සහ ගන්නෙමි. ඔව් මම තරහව අතින් ගතහොත් කළු කොටුවක තිබෙන සුදු ලපයක් මෙනි. මම සිතන්නේ මොකද මගේ ස්වභාවය තරහ යාමය. එහෙත් පරිනත වෙන්න වෙන්න, සමාජයේ මුවහත් වෙන්න වෙන්න එම සුදු ලපය කළු පසුබිම තුල කෙමින් කෙමින් විශාල වේ. ඔබ සුදු පසුබිම තුල සිටින කළු පැල්ලමක් ද එනම්, ඔබ එළියෙන් අඳුරට එන පුද්ගලයෙක්ද, ඉතා සන්සුන් පුද්ගලයෙකු ලෙස සිට බාහිර බලපෑම් නිසා තරහව සහ වෛරය සිත තුල වැඩෙන, එසේ නම් ඔබ අදක්ෂයෙකි. මා දක්ෂයෙක් යයි මා නොකියමි, කිමද තවමත් කළු පසුබිමේ සිටින සුදු පැල්ලමක් බැවින්.

මෙය අපට විවිධ හොඳ නරක හැන්ගීම් සමග සසඳා බැලිය හැක. තවත් උදාහරණයක් ගනිමු.

ඔබ පිරිමියෙක් නම්, මදකට සිතන්න ඔබ සහ සුන්දර යුවතියක් එක දුපතක අහඹු ලෙස තනිවේ. ඔබ දෙදෙනාම පමණය. එම දුපතේ කිසිම නීතියක් නැත. ඔබට අවැසි නම් ඒ යුවතිය සිතැඟි පරිදි දුෂණය කල හැක. ඇයගේ ශරීර ශක්තිය ඔබ අසන්නයටවත් නැත. දැන් ඔබට ඔබ කළු චරිතයක්ද සුදු චරිතයක්ද යන්න විමසා බැලිය හැක. ඔබ ගන්නා තීරණ පහත පරිදි විය හැක. (ඔබ සම ලිංගිකයෙකු නොවන බව සහ යුවතිය ගණිකාවක් නොවන බව උපකල්පනය කරමු)

1) ඇයගේ අදහස් නොවිමසා ඇයව දුෂණයට ලක් කර ඔබගේ ආශාවන් සංසිඳුවා ගැනීම (දුපතේ කිසිම නීතියක් නැත. ඔබට දඬුවම් ලැබෙන්නේද නැත)
2) ඇගේ සිතට කෙමින් කෙමින් ලන් වී ඇයගේ සිතත් සමගම ගතත් විඳීම. මෙහිදී ඔබ දෙයාකාර පුද්ගලයෙකු විය හැක. එනම් කපටි ලෙස ඔබගේ ආශාවන් සංසිඳුවා ගැනීමට පමණක් ඇයට ලන්වී පසුව ඇත හැර දැමීම සහ සදාකාලික ඔබගේ තනිකමත් මකා එකට ජීවත් වීමට ඇයට අවස්ථාවක් දීම.

ඔබ ගන්නේ ඉහත පලවෙනි තීරණය නම් ඔබ කළු චරිතයකි. ඔබගේ සුදු පැල්ලමක්වත් නොමැත.
ඔබ ගන්නේ ඉහත දෙවන තීරණයේ පළමු තීරණය නම් ඔබ කළු චරිතයකි, අවස්ථාවාදී ලෙස ඔබ සුදු පැල්ලම් යොදාගනී යොදාගනී.
ඔබ ගන්නේ ඉහත දෙවන තීරණයේ දෙවන තීරණය නම් ඔබ සුදු චරිතයකි.

අප සියල්ලන්ගේම ජීවිත වල මේ කළු සුදු යම් යම් ප්‍රතිශත වලින් ඇත. ඔබට මේ සැම දේම පාලනය කරගැනීමට බුද්ධියක් ඇත. ආගමට හෝ නීතියට බයේ ඔබ මේ ප්‍රතිශතය පාලනය කරයි නම් ඔබ සැබවින්ම කළු චරිතයකි. මෙලොව බොහෝ දෙනෙකු මේ ප්‍රතිශතය වෙනස් කරගැනීමට නොහැකිව තම හර්දසක්ෂියේ සිරකරුවන් වී සිටි.

ලොව කිසිවෙකු සර්ව සාධාරණ නැත. ලොව ප්‍රකට දාර්ශනිකයෙකු වූ "තෝමස් හොබ්බ්ස්" ගේ මතයට අනුව මනුස්සයන් ලොව බිහිවීමත් සමගම බිහි වුයේ ආත්මාර්ථකාමී සහ දරුණු ගති පැවතුම් සමගය. මිනිස් මනස දියුණු වීමත් සමග ඔව්න් ටික ටික හොඳ මිනිසුන් වීමට පටන් ගති. තවත් දාර්ශනිකයෙකු වූ "ජෝන් ලොක්" මීට විරුද්ද මතයක් ගනී. ලෝකයා ස්වභාවයෙන් සාමකාමීය, පසුකලෙක ඔව්න් තණ්හාවත් විවිද බලපෑම් සහ බලයට ඇති අසාවත් සමග වෙනස් වීමට පටන් ගනී. මේ දාර්ශනික ගැටළු වලට පිළිතුරු සෙවීමට මා අදහස් නොකරමි.

හොඳ මිනිසුන් නරක මිනිසුන් යන්න තීරණය කරන්නේ අප විසින්මය. අපට අවශ්‍යනම් කළු පසුබිම තුල සුදු පැල්ලම විශාල ලෙස වර්දනය කර ගත හැක. නැතහොත් සුදු පසුබිම තුල කළු පැල්ලමක් ඇතිවීම අවම හෝ නැති කරගත හැක.

පිළිතුර - "මම " නමැති පුද්ගලයා කළු පසුබිමක තිබෙන සුදු පැල්ලමකි. මා සැමවිටම උත්සහ ගන්නේ ඒ සුදු පැල්ලම විශාල කරගැනීමටය. එහෙත් කළු සියල්ල එම සුදු පැහැයෙන් මැකිය හැකිදැයි මා තවම නොදන්නෙමි. එහෙත් උත්සහ ගන්නෙමි. ඔබ කව්ද යන්න ඔබම සිතා බලන්න.


Drawing and Article - Dulitha Kasun



Tuesday, February 16, 2016

30 Under 30 DNA

30 Under 30 , DNA



මොකද්ද මේ 30 under 30 කියන්නේ ? ඇමෙරිකානු ව්‍යාපාරික සඟරා වන inc සහ Forbes සඟරා වලින් සෑම අව්රුද්දකම විවිද ක්ෂේශ්ත්‍ර 20 කට අදාලව තම ව්දක්ෂතා දැක්වූ වයස අවුරුදු 30ට වඩා අඩු 30 දෙනා බැගින් තෝරනු ලබයි. මෙහිදී මෙම ක්ෂේස්ත්‍ර වන්නේ,

1) කලාව සහ විලාසිතා  (Art & style)
2) ශක්තිය උත්පාදනය සම්බන්ද  (Energy)
3) රසවින්දන (Entertainment )
4) මුල්‍ය (Finance )
5) ආහාර පාන (Food & wine )
6) නීතිය සහ ප්‍රතිපත්ති සම්පාදනය (Law & Policy)
7) මාධ්‍ය (Media)
8) සංගීතය (Music)
9) දේපල වෙළන්දම්  (Real Estate)
10) විද්‍යාව (Science )
11) පාරිභෝගික තාක්ෂනය (Consumer Tech )
12) ක්‍රීඩා (sports)
13) විද්යුත් වෙළඳාම සහ වෙළඳ පොළ (E Commerce & Retail )
14) අධ්‍යාපනය (Education)
15) පරිඝනක ක්‍රීඩා (Games)
16) ප්‍රාග්ධන ආයෝජන (Venture Capital)
17) නිෂ්පාදන (Manufacturing)
18) වෙලන්දමය තාක්ෂණික (Enterprise Tech )
19) අලෙවි කළමනාකරණය (Marketing & Advertising)
20) සෞඛ්‍ය (Health Care)

මෙහිදී මා ඉදිරිපත්කරන්නේ ඔව්න්ට පොදු වන චරිතමය ලක්ෂණ සහ පරිසරාත්මක සාධක කිහිපයක් පිළිබඳවයි.

1) ඔව්න් බොහෝ දෙනා තම ව්‍යාපාර අරඹා ඇත්තේ තම නිවසේ සිටමය, ප්‍රතිශතයක් වශයෙන් 36% කි.
2) ඔව්න්ගෙන් බොහෝ දෙනා එනම් 64% ක් දෙනා මෙම ව්‍යාපාර ඇරඹීමට සිතා ඇත්තේ ලෝකයට යම් වෙනසක් ලබා දීමටය, ඔව්න්ගෙන් 27%ක් දෙනා තම ආත්ම පරිපුර්ණත්වය උදෙසාය. 8%ක් පමණ තමාගේම යටතේ වැඩ කිරීමට අවශ්‍ය නිසාය. ඉතිරි 1% පොහොසතෙකු වීම උදෙසාය.
3) මේ අතර 59% ක් දෙනා රාත්‍රී කාලයේ සිතන්න වැඩ කරන්න කැමති පිරිසය (Night owls). ඉතිරි 41%ක් දෙනා දහවල් කාලයේ වැඩ කරන්නන්ය.
4) 84%ක් දෙනා තනිකඩයන් වන අතර 16%ක් විවාහක වේ. මේ අතරින් 4%කට පමණි දරුවන් ඇත්තේ.
5) මොවුන් බොහෝ දෙනෙකුට පොදු චරිත ලක්ෂණ වන්නේ, අප්‍රතිහත ධෛර්යය, යම් දෙයකට ඇති ආශාව, ශුබවදී බව, දැක්මක් ඇති බව, ආත්ම විශ්වාසය සහ නිරන්තරයෙන් ක්‍රියාත්මක වීම වෙනි ලක්ෂණයන්ය. තවද මොවුන්ගෙන් බහුතරය නව නිර්මාණයක් තුලින් තම සාර්ථකත්වය ළගා කරගත් වුන්ය
6) 17%ක් දෙනා ඉහල පන්තිකයන් වන අතර 20%ක් වැඩ කරන ජනතාව සම්බන්ද පව්ල්ය බහුතරය වන 63%ක් මධ්‍යම පාන්තිකයන් වේ.
7) මොව්න් වැඩි වශයෙන් පාවිච්චි කල Mobile Apps අතර Facebook නොමැති වීම විශේෂ ලක්ෂණයකි.
8) මොව්න්ගේ සිහින උපදේශකයන් අතර ප්‍රධාන තැනක් ගන්නේ, Bill Gates, Elon Musk , Steve Jobs, Richard Branson, Barack Obama වෙන්නන්ය.
9) මේ අතර 44%ක් දෙනා උපදිධාරින් වන අතර 24%ක් දෙනාට ඇත්තේ උසස්පෙළ වෙනි සුදුසුකමක් පමණි. 18% ක් පමණි පශ්චාත් උපදිධාරීන් ඉන්නේ.


මෙය මා ඉදිරිපත්කරන්නේ සියල්ල රජයෙන් කරදෙන තුරු බලා සිටින, අධ්‍යාපනයේ සිට රැකියාව දක්වා රජයෙන් බලාපොරොත්තුවන රටක සිතුවිලි මදක් හෝ වෙනස් කිරීම උදෙසාය. තරුණ පරපුර තම තරුණ වියේ හොඳම කාලය පළමු උපාදිය සහ උසස් පෙළ වෙනුවෙන් කැප කරයි. සාමාන්‍යයෙන් ලංකාවේ තරුණයෙකු අවරුදු 20, 21 වෙනතුරු උසස් පෙළ හදාරයි ඉන්පසු අව්රුද්දක් පමණ ගොස් විශ්ව විද්යාල අධ්‍යාපනය ආරම්භ කරයි. ඉන්පසු අවරුදු 4ක් හෝ සමහර උපාදි සඳහා 5ක් හෝ 6ක් ගොස් එලියට එයි. තරුණ ජවය සහ නිර්මාණශීලිත්වය සිසු සටන් සඳහා සහ අධ්‍යාපනය උදෙසා අවරුදු අවරුදු ගානක් වැය කල පසු බොහෝ දෙනාට සිද්ද වනුයේ එක්කෝ Charted, CIMA හෝ CIM වෙනි සුදුසු කමක් කිරීමය. මේ සියල්ල කල පසු අවරුදු 26, 27 වෙයි ඉන්පසු  අධ්‍යාපනයට ගැලපෙන රැකියා වෙළඳ පලක් නොමැති කමින් ඔව්න් අවසානයේ බොහෝ දෙනා නැවතත් වීදි බසී. ඉංග්‍රීසි සහ අමතර පාඨමාලා කර වුන් කෙසේ හෝ රැකියාවකට රිංගා ගනී. සල්ලි තිබෙන වුන් මේ අතර MBA වෙනි සුදුසුකම් කර තවත් ඉදිරියට යාමට උත්සහ ගනී. මේ අතර ඔව්න්ට 30 under  30 වීමට සිතීමටත් පෙර 30 පසු වී ඇත. ඉන්පසු ඔව්න්ගේ තරුණ නිර්මාණශීලිත්වය, ජවය බොහෝ දුරට ඇත්වී කසාදයක් බැඳ එකලාසයක් වීම පමණක් අරමුණු කර ගනී. මේ වූ කලී ලංකාවේ වාසනාවන්තම සහ දක්ෂතම සහ බුද්ධිමත්ම පිරිසට සිදුවන්නා වූ අවාසනාවන්ත ඉරණමයි (බසැමට නොවේ). මෙය වෙනස් කිරීම පහසු දෙයක් නොවුනද වෙනස් විය යුතුමය. නැතහොත් ගුවන් යානය යන්නේ නිදිබර වූ ගුවන් නියමුවන් සමගය. ලාංකීය සමාජයේ ව්‍යවසයකයෙක් යන වචනයේ තේරුම දන්නේද කීයෙන් කී දෙනාද. තමාගේ දරුවා දීග දීමට දෙමව්පියන් සොයන්නේ වෛද්‍ය හෝ ඉංජිනේරු නතොහොත් ගණකාධිකර හෝ නීති වුර්තිකයෙක්ටය. අනෙකුත් වුර්තීන් ගැන සාමාන්‍ය ජනයාට දැනුමක් ඇත්තේද නැත. මාගේ මිතුරෙකුට තම පෙම්වතිය අහිමි වුයේ රජයේ රැකියාවක් නොමැති කමින්ය. මිනිසුන් සිතා සිටින්නේ රජයේ රැකියා සුරක්ෂිත සහ අර්ථ සාධකයකින් යුක්ත නිසා හොඳම දේ රජයේ රැකියාවක් කිරීම බවය. එය වර්තමානයේ විහිළුවකි. රැල්ලන් පසු පස සහ අල්ලපු ගෙදර අයියා කරපු උපාදිය කලොත් ගොඩ යයි කියා සිතන සමාජයක ව්‍යවසායකත්වය තරුණ සිත් වල ඇති කරන්නේ බියකි. රජයෙන් ව්‍යවසායකයන් දිරිගැන්වීම කරන්නේ ඉතා අඩුවෙනි. සින්ගප්ප්පුරුව වෙනි රටවල් වල ආර්ථිකය රඳා පවතින්නේ සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ සේවා වෙළඳ පල නිසාය. රජයේ සහ පව්ද්ගලික අංශයේ උසස් තනතුරු දරන්නේ අවරුදු 27, 28 තරුණයන්ය. මේ චින්තනය වෙනස් නොවුන හොත් අපතේ යන්නේ රටට ඇති විශාලතම සහ අගනාම බුද්ධිමය ප්‍රග්ධනයයි.

දුලිත කසුන්


Monday, February 15, 2016

විශාලතම බිය...

පවසන්න මාහට ලොව දරුණුම මිනිසා සමග සටන් වදින්ට... මම මිය යනතුරු හෝ සටන් වදිමි.... පවසන්න මට ලොව භයානකම ත්‍රස්තවාදීන් සමග සටන් කරන්න... එයද කරමි... පවසන්න මට මරියානා ආගදයේ කිමිදෙන්න කියා එයද කරමි... පවසන්න මට හිමාලය තනිව තරණය කරන්න කියා එයද කරමි... එහෙත් අම්මේ තාත්තේ ඔබ දේපල නොමැතිව කෙදිනක පටන්  ජීවත් වෙන්න සිදුවේද යන්න මම නොදනිමි... ඒ දිනය එන්න එන්න ලන්  වෙන බව පමනක් දනිමි... එය සිහිවනවිට දැනෙන බිය සහ දුක කෙසේ නම් වින්ද දරගන්ටද මම... පව්ලේ තනි දරුවා ලෙස වැඩුණු මාගේ ආත්මය ඔබ දෙපලට කෙසේ නම් බැන්දී ඇත්ද... මට ඔබ දේපල නොමැති දිනය මතක් වන විට සිතෙන්නේ, මම ඊට පෙර ඒ ලෝකයට ගොස් ඔබ දේපල එනතුරු සිට , ඔබ දේපල පිළිගන්ට ඇත්නම් කෙතරම් හොඳද කියාය...මා බොහෝ වැරදි කර ඇත, බොහෝ ඔබ දෙපලගේ සිත් රිදවා ඇත. ඒ සැමට ඔබ මට සමාව දී ඇත. මම කිසි දිනෙක අහිංසක කීකරු පුතෙකු නොවුනි. දඩබ්බර කම් සාමාන්‍ය දෙයක් විය... එහෙත් මට නැවත ඒවා නිවැරදි කල හැකිද....ඔබට මා ඇති ණය මට ආත්ම සියයකින්වත් ගෙවා නිමකළ  නොහැක. දිනෙක ඒ දුක මට තනිව දරාගැනීමට මට සිදුවනු ඇත. කිව යුතුව ඇත්තේ මාහට ඒ සඳහා ශක්තියක් නොමැත...කාලෙකට පසු ඇසට උනන කඳුලක් සමග ලියු ලිපියකි මෙය...

දුලිත කසුන්

Tuesday, February 9, 2016

මම කව්ද.....සහ ජයන්ත අයියා...

මම කව්ද.....සහ ජයන්ත අයියා
දැනට පැය කිහිපයකට පෙර මාගේ නිවසේ දොරට කව්දෝ තට්ටු කරමින් මල්ලි යයි කතා කරනු ඇසිනි. එලියට ගොස් බැලු විට මා දුටුවේ කලකට පෙර මාහට බොහෝ උදව් කල සහෝදරයෙකි. ජයන්ත අයියා... මම ජයන්ත අයියා ගැන කීමට පෙර උප කතාවකට යමි.
මා අද මෙහි මාගේ පව්ද්ගලික රහස් දෙකක් හෙළි කරමි. මා උසස් පෙළ පලවෙනි වර කරන අවදියේ බොහෝ දුර බැහැර සිටින ගැහැණු ළමයෙකුට පෙම් කලෙමි. ඇයව මුණ ගැසීමට උදේ පාන්දර බසයේ නගින්නේ දවල්ට කෑමට කෙසෙල් ගෙඩි කිහිපයක් බෑගයේ දමාගෙනය. පැය දෙකහමාරක ගමනකින් පසු ඒ (ඒ අවරුදු 3 තුලදී මම බසයක හිඳගෙන ගොස් ඇත්තේ දෙපාරක් හෝ තුන් වරක් පමණි ) මා නිවසේ සැපට හැදී දෙමව්පියන්ගෙන් මිදී ජීවිතයේ පලමු වරට සමාජයට මුහුණ දෙන්නේ ඒ කාලය තුළදීය. එකල ඇය බැලීමට යාමට මට දෙමව්පියන්ගෙන් මුදල් ඉල්ලීමට අපහසු විය. මට ගැහැණු ළමයෙකු සිටින බව අම්මා සහ තාත්තා දැන සිටියද ඔව්න් සිතා සිටියේ මා ඇය මුණ ගැසෙන්නේ ගම්පහ දී කියාය. දවල්ට කෑමට බත් මුලක් බැඳ දෙන්න හදද්දී ඒ වෙනුවට සල්ලි ඉල්ලන්නේ ගමනාගමනයට අවශ්‍ය නිසාය.කන්න නැති වෙලාවට පන්සල් වලින් ආහාර ගෙන ඇත. මේවා කියන්න ලජ්ජා නැත.  බොහෝ විට පැය දෙකහමාරක් ගමනය කරන මා ඇයව මුණ ගැසෙන්නේ බොහෝ කෙටි කාලයකටය. ඒ ඇයගේ එක පන්තියක් ඉවර වී අනික් පන්තියට ඇවිද යන විනාඩි 15ක කාලය සහ ඇයගේ පන්තිය ඉවර වී ඇය බෝඩිමට යන සුළු වෙලාවය. මේ අතර තුර කාලය බොහෝ විට මා තනිව සංචාරය කලෙමි. වැව රව්මට වී රසායන විද්‍යා පොතක් ගෙන කෙසෙල් ගෙඩියක් කන ගමන් කාබනික රසායනය පාඩම් කිරීමේ අසාර්ථක උත්සාහයක යෙදුනෙමි. නැතහොත් ලේක් හෞස් book shop එකට ගොස් පොතක් දෙකක් බැලුවෙමි. මේ කතාවේ මේ කොටස මා මෙතනින් ඉවර කරමි.
දෙවෙනි රහස : ඇයව බැලීමට යන්න මුදල් හින්ගතාවයන් ඇති විට මම නොයෙකුත් රැකියා සෙව්වෙමි. රැකියා දෙකක් සම්බ වුනි. එකක් දවස් පඩියට බියගම වෙළඳ කලාපයේ කම්කරු සේවයේ යෙදීමය. අනික ජයන්ත අය්යා සමග DJ කිරීමය. එක් වරක් work wear ආයතනයේ අවන් එකේ වැඩ කලෙමි. එහිදී මට තිබුනේ අත් මේස් සැදීමට උදව් කිරීමය. අවන් එකේ වෙන්නේ අත් මේස් රෙදි වල සායම් නාවා අතේ හැඩයට සැකසු bar එකකට ඒවා බස්සවා ඒවා අවන් එකට දමා රත් උන පසු ඉවත් කිරීමය. මාගේ අත් දෙකේ කරගැට බොහෝ සැදුනි. එකල යට ඇඳුමත් අම්මා සෝදා දෙන සැපට සැදුනු කෙනෙකි මා. අත් මේස් පොන්ගවන chemical වල සැරට ඇස් දෙක පිලිස්සී ඇත. අවසානයේ රුපියල් 400ක් සහ බත් පැකට් එකක් දුනි. එය රැඟෙන ඉරිදා දින ඇයව බැලීමට ගියෙමි. දෙවෙනි වර IDL අරක්කු ආයතනයේ සේවයට ගියෙමි. එහිදී ජාතික හැඳුනුම්පත් තිබ්බ උන් අරක්කු බෝතල් වල ලේබල් ගැසීමට දැම්මේය. මට තිබුනේ තැපැල් හඳුනුම්පතකි. මාගේ ශරීර ප්‍රමාණයද විශාල වූ බැවින් එහි සිටි සුපවයිසර් මට කීවේ "උඹ පලයන් කන්ටේනර් එකෙන් නැවෙන් එන බෝතල් බාන්න සහ ඒවා පුවරවපු බෝතල් ලොරියට පැටවීමට " කියා එයද කලෙමි. 2007 ජනවාරි මාසයේ ඒ පඩියෙන් ඇයට සෙන්ට් බෝතලයක් ද රැගෙන ඇයව බැලීමට ගියෙමි. ඇය මාගේ අත් දෙකේ කරගැට සිපගත්තා මතකය.
මා මේ කරන ජොබ් කටු දැක්ක ජයන්ත අය්යා මට කීවේ මල්ලි උඹ වරෙන් මාත් එක්ක DJ කරන්න කියයි. සංගීතය ගැන යම් දැනුමක් තිබු මම එය එක වරම පිලිගතිමි . ගමේ අහල පහල තිබු පොඩි පොඩි උත්සව අපි ආවරණය කළෙමු sound system ekak සහ Virtual DJ software එක පමණක් අපට තිබුණි. පැය 4ක 5ක DJ එකක් කල පසු මා හට රුපියල් 2000ක මුදලක් ලබා දුනි. මාසයකට 3ක් 4ක් සෙට් වෙනවාමය. ගමේ කොල්ලන් තවමත් DJ දුල්ලා කියා හන්දියේදී මාව ඉඳහිට ආමන්ත්‍රණය කරයි. මට pocket money set විය.
කාලය ගත විය මම නැවතත් උසස් පෙළ කිරීම සඳහා සියල්ලන්ගෙන්ම ඇත් වීමි. ජයන්ත අය්යා ද වෙනත් රැකියාවක් සඳහා යන බව කීවේය. මම කෙසේ හෝ අද සිටින තැනට පැමිණියෙමි. අද මම එදා සේව්වාට වඩා 20, 30 ගුණයකින් හම්බ කරමි. බොහෝ අඩු මහන්සියකින්. අවරුදු 6ක් ගත වී ඇත.
එහෙත් ජයන්ත අය්යා අද අවේ උදව්වක් ඉල්ලාගෙනය. "මල්ලි මේ සෙනසුරාදා වෙද්දීන්ග් එකක් තියෙනවා මම ලඟදි වැඩේ කළෙම නෑ... උඹෙන් අහල වචනයක් දෙන්නම් කිව්වා... උඹට පුලුවන්ද මල්ලි?"
wedding එක මාගේම ගමේය... මා දැන් සිටින්නේ හාත් පසින්ම වෙනස් පද්දතියකය... එහෙත් මා කෙසේ නම් බෑ කියන්නද.... කෙල්ල අද මගේ ළඟ නැති උනත් ජයන්ත අය්යා නිසා මා කම්කරු සේවයට සමු දුනි.
මම උත්තරයක් දුන්නෙමි "හරි ජයන්ත අය්යා මම කරන්නම් එත් දැන් නැගල යන සින්දු ගැන මට වැඩිය අවබෝදයක් නෑ , ටිකක් හොයාගන්න වෙයි, උදේ 9 විතර ඉඳන් රෑ 11 විතර වෙනකම් ඇදගෙන යන්න වෙයි ..වැඩේ කරමු..."
මගේ හිත තෘප්තිමත්ය මට උදව් කල ඒ සහෝදරයා ට උදව්වක් කිරීමට මට අවස්ථාවක් ලැබුණි... සමාජ මට්ටම් ගැන සිතීමෙන් පලක් නැත. දෙමව්පියන්ගාව සැපට හැදුන මා කම්කරු වැඩ කලෙමි, අනාගතය ගැන අපි නොදනිමු, නැවතත් මට ඒ දේ කිරීමට සිදුවනු ඇත....එහෙත් කම්කරුවෙකු ලෙසද සේවය කල මාහට සමාජය, දුක, සදාරණත්වය සහ මිනිසා වෙනුවෙන් දෙයක් කිරීමට ඇති මුලික සුදුසුකම එය ලෙසද මා විශ්වාස කරමි.... මාගේ එදවස ලඟින්ම සිටි මිතුරන් වන ලක්ෂ්මන්,ප්‍රසිත සහ නුවන් වෙන්නන් ඒ අතීතය ගැන හොඳින්ම දනී... ඔව්න්ද මට නොසහෙන්න උදව් කර ඇති බැවිනි....
දුලිත කසුන්

Monday, February 8, 2016

ගුවන්තොටුපලේ ජීවිතය....

ගුවන්තොටුපලේ ජීවිතය....
ඔබ තාක්ෂණික සහ විද්‍යාත්මක පිපාසයෙන් පෙලෙන්නෙක් නම්, ඔබ දකීවි,
ලොව තිබෙන විශිෂ්ටතම නිපැයුම, සමාජය සිනාසුනු බයිසිකල් රෙපෙයාර් කරන සහෝදරයන් දෙදෙනෙකු විසින් සැදූ ගුවන් යානයේ වර්තමානය. ඔබට ඇසේවි ජෙට් එන්ජින් වල මියුරු ශබ්දය(මෙය මියුරු වන්නේ ගුවන් යානා පිපාසිතයන්ට පමණි ).... ඔබ දකීවි බර්නුලි සිද්ධාන්තයේ ප්‍රායෝගික පිවිසුම. ඔබ විඳීවි තාක්ෂණයේ අසිරිය. Boing 787 Dreamliner වෙනි සුපිරි ගුවන් යානා , ඉඳල හිටලා එකක් දෙකක් හදිස්සියේ බස්සන (Emergency landing) A 380, ලොව විශාලම මගී ගුවන් යානා, ඔබට සිතේවි සිත ඇත්නම් කල නොහැකි දෙයක් නො
මැති බව...

ඔබ සමාජ විද්‍යාත්මක කෝණයෙන් බලන්නේනම් ඔබ දකීවි,
තම සිව් මස් වියැති බිලිඳිය හැරයා ගත නොහැකිව හඬන මව්වරුන්... තම පෙම්වතිය හැර යාමට දුකෙන් පිස්සුවෙන් මෙන් දෙතොල සිපගන්න පෙම්වතුන්.... නිවෙසක් සදා ගැනීමට තම තරුණ විය, තම පව්ල් ජීවිතය කැප කරන, තරුණ තරුණියන්.... අවරුදු ගානක් අරාබියේ වේලි ශීතකරණයක් සහ අඟල් 32 රුපවාහිනියක්ද රැගෙන මදක් මොඩ් වී දුක සැඟවීමට උත්සහ ගනිමින් පැමිණෙන කාන්තාවන්.... තම රැකියාවෙන් අමාරුවෙන් සොයාගත් සල්ලි සේසතම වියදම් කර හෝ තම පුතා හෝ දුව එංගලන්තයේ ඇමරිකාවේ විශ්ව විද්‍යාල වලට යවන දෙමව්පියන් ඇසේ කඳුළු පුරවා ගෙන ජීවිතයක් තමා ළඟ සැදුනු දරුවාට සුබ පතන අයුරු.... දෙවියන්ගෙන් ආරක්ෂා කරන මෙන් ඉල්ලන අයුරු..., තමා නැවත ලංකාවට එනවිට තමාගේ වයසක මව හෝ පියා ජීවතුන් අතර ඉංදී දැයි සැකයෙන්, මේ ඔව්න්ව දකින්නේ අවසාන වතාවට දැයි සිතමින් ගුවන් යානයට ගොඩවෙන දරුවන්...මේ අතර කොළඹ යනවා මෙන් බටහිර රටවල් සංචාරය කරන ධනවත් පවුල් වල posh ළමයින්... තම විශ්‍රාම වැටුප හෝ දරුවන්ගේ සහයෝගයෙන් හෝ ඉඩකඩම් විකුණා හෝ දඹදිව යන අම්මාවරු පියවරු.... බුරුතු පිටින් සුදු ඇඳගෙන මක්කම වන්දනා කරන මුස්ලිම්වරු සෞදි අරාබි ගුවන් සේවයේ Boing 747 ගුවන් යානයට පෝලිමට ගොඩවන අයුරු ....
මේ සියල්ල අතර ගිම්හාන නිවාඩුවට Surfing කිරීමට අරුගම්බේ, මිරිස්ස යන සුද්දන් සුද්දියන්, හිමෙන් වැසුණු රටක කළු කොපි බිබී සිට කුරුම්බා ගෙඩියක් බී මුහුදු වෙරළක සැතපෙන්න සිතන් එන සුද්දන් සුද්දියන්, ලංකාවේ සංස්කෘතික අංග සහ බුද්ධාගමේ සිසිලස විඳීමට පැමිණෙන සුද්දන් සුද්දියන්.....
ඔබ ව්‍යාපාරික කෝණයකින් බලන්නේ නම් ඔබ දකීවි,
"අවස්ථාවන්".... විදේශිකයන් පැමිණීම එන්න එන්න වැඩිවන බව, ලංකාව තවත් එක සුපිරි සංචාරක පුරවරයක් වන ලකුණු, නව ගුවන් සේවාවන් පැමිණෙන අයුරු.....ව්‍යාපාරික සංචාරකයින් විවිධාකාර ආයෝජන අවස්ථා සඳහා සංචාරය කරන අයුරු.... ඔව් ඔබ දකීවි අලුත් වන දේශයක පෙර නිමිති....
දුලිත කසුන්

Monday, November 16, 2015

මතවාදී වෛරසය තුලින් ත්‍රස්තවාදයට...

දීර්ග විරාමයකට පසු නැවතත් ලිපියක් ලියන්නට සිතුනේ ලෝකයේ සිදුවන සමහර සිදුවීම් දෙස බලා සිටිය බැරි තැනමය. ත්‍රස්තවාදය අපට  අලුත් දෙයක් නොවුනද, අනාගතයේ සිදුවිය හැකි අනතුරක් හිතට දැනෙන්නට ගත් නිසා මෙය ලියන්නට සිතුවෙමි. ප්‍රංශයේ ගිනිගනිත්දී ලංකාවේ ප්‍රංශ කොඩිය ගැන මරා ගනී. මේ සියලු සිදුවීම් අතර ලෝකයටම සිටින පොදු සතුරෙකු , අපට අනාගතයේ විශාල අනතුරක් කල හැකි සතුරෙකු, ශක්තිමත් වෙමින් සිටි. ඉස්ලාම් දහම මේ සියල්ලටම හේතුව කියා ඔව්න්ට බන වැදීමෙන් පලක් නොමැත. ඉස්ලාම් ආගමද අන් සියලු ආගම මෙන් පසු කාලීනව මතු වූ ආගම් නායකයන් විසින්,තම අවස්ථා වාදී ක්‍රියා සඳහා තමන්ට උවමනා ලෙස වෙනස් කරගන්නට කරගන්නට ඇත. මා ඉස්ලාම් ආගමේ ඉතිහාසය ගැන මෙහෙදී කියන්ට නොයමි. එහෙත් ඉස්ලාම් අගම පලිහ කරගෙන මිනි මරණ මේ පොදු සතුරා ගැන අප අවබෝදයක් ලබාගත යුතුමය. මදක් සිතා බලන්න ප්‍රංශයේ සිදු වූ පහරදීමට සම්බන්ද එක් පුද්ගලයෙකුගේ අනන්‍යතාවය මේ වනවිට හෙළිවී ඇත. ඔහු නමින් "ඕමාර් ඉස්මෛල් මුස්ටෙෆෛ " වේ. මොහු සිරියන් ජාතිකයෙක්ද?
මොහු ඉරක ජාතිකයෙක්ද? නැත. මොහු ප්‍රංශ  ජාතිකයෙකි. 2012දී ඔහුගේ අසල්වැසියෙකු ලෙස සිටි අයෙක් ප්‍රකාශ කර සිටින්නේ, ඔහුට දරුවෙකුද සිටි සාමාන්‍ය පුද්ගලයෙකු ලෙසයි. ඔහුගේ පාසල් මිතුරෙකු පවසා ඇත්තේ ඔහු එක්තරා සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස පාසලේදී සිටි බවයි. දැන් ඇති  ප්‍රශ්නය වන්නේ  දරුවෙක් සහ බිරිඳක් සිටි, ප්‍රංශයේ උපත ලැබූ "ප්‍රංශ ජාතික මුස්ලිම් " වරයෙකු. මේ තරම් කුරිරු වන්නේ ඇයිද කියයි.
ඕනෙම රටක සිටින අහිංසක අහිංසක මුස්ලිම් තරුණයෙකුට මේ ඉරණම අත්විය  නොහැකිද ? ආගම නමැති රෝග වාහකයා තුලින් "සලෆි ජිහදිස්ම් " වාදය නමැති වෛරසය මනසට ඇතුළු වූ කල මේ ඉරණම ඕනෙම අහිංසකයෙකුට විය හැක. ඔව්න්ව මෙහෙයවන නායකයන් තවමත් නිරුපද්‍රිතව සිටි. දෙවියන් වහන්සේගේ වචනයෙන් බැහැරව සිටින සියල්ලන්ම තම වෛරක්කරුවන් ලෙස දකින මේ වෛරසයක් බඳු "සලෆි ජිහදිස්ම් " මතවාදය මනස තුලට කාවදින ඕනෙම ඉස්ලාම් සහෝදරයෙකුට මේ ඉරණම ඇත විය හැක. "ISIS" "Al Quaida" බිහිවන්නේ ද මේ මත වාදයන් තුලිනි.මෙම වෛරසය පැතිරීමට රටක් , පළාතක් අවශ්‍ය නොවේ. ඔබගේ මනස කෙතරම් මිතදෘෂ්ටික මතවාදයන්ට විවර වේද , ඔබට මේ ඉරණම අත්විය හැක. මෙය වෛරසයකි, ආගම රෝගවාහකයා වීමට නොදෙන්න. නැතහොත් නැවතත් අප ලෝක යුද්දයකට යන දවස වැඩි දුරක නොවනු ඇත. එය ලෝකය අවසාන වන යුද්දය වනු ඇත.

Dulitha Kasun Dayarathne 
(Student of BA in Social Sciences ( International Relations & Politics)